සියලුම ගුරුවරුන්ට අගමැතිනි හරිනිගෙන් විශේෂ පණිවිඩයක්
අද (6) දිනයේ ලෝක ගුරු දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ශුභාශිංසන පණිවුඩයක් යොමුකර ඇත.
ශුභාශිංසන පණිවුඩය
"අනාගත පරපුරේ නැණ නුවණ පාදා, යහපත් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සමාජයක් බිහිකිරීම උදෙසා කැපවන සමස්ත ගුරු පරපුරටම ලෝක ගුරු දිනය වෙනුවෙන් මාගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරමි. වර්තමාන තොරතුරු තාක්ෂණික හා නවීන ලෝකයට ගැළපෙන පරිදි ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ, කාලයේ තාලයට අනුගත වෙමින් දරුවන්ට නව මාවතක් පෙන්වා දීමට ඔබ දක්වන කැපවීම අතිශයින්ම අගය කළ යුත්තකි.
ගුරු වෘත්තිය යනු හුදෙක් වේතනයකට සීමා වූ රැකියාවක් නොව, එය ආත්ම පරිත්‍යාගයෙන් හා ආදරයෙන් ඉටුකරන මහඟු සේවයකි. එබැවින් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගුරු වෘත්තියේ අභිමානය තහවුරු කිරීම උදෙසා අප රජය විසින් ප්‍රමුඛ පියවර රැසක් ගෙන තිබේ. දීර්ඝ කාලයක් පැවැති ගුරු හිඟයට විසඳුමක් ලෙස උපාධිධාරීන් හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් විධිමත් පදනමකින් ගුරු සේවයට බඳවා ගැනීමටත්, නීතිමය සහ සේවා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කරමින් බඳවාගැනීම් විධිමත් කිරීමටත් අපි කටයුතු කරමින් සිටින්නෙමු.
එමෙන්ම වැටුප් ගැටලුවට විසදුම් යොදමින්, උසස්වීම් ප්‍රමාදයන් වැළැක්වීමට කටයුතු කරමින්, කාර්යක්ෂමතා කඩඉම් විභාග විධිමත්ව පවත්වමින් මෙන්ම විදුහල්පති සේවයේ හා ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු පූරණයට පියවර ගනිමින් සිටිමු. ඩිජිටල් අධ්‍යාපන ප්‍රවේශයන්ට අනුගත වීම සඳහා ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම සහ වෘත්තීය පුහුණු වැඩසටහන් නවීකරණය කරමින් වෘත්තියභාවය ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, විදෙස් පුහුණු අවස්ථා නිර්මාණය කරමින් නූතන ගෝලීය තාක්ෂණය හා බැඳුණු නව අවස්ථාවන් ගුරුවරුන් වෙනුවෙන් ලබා දීමට ද කැපවී සිටිමු.
පාසල් කාලසීමාවට හෝ විෂය නිර්දේශයට පමණක් කොටු නොවී, දරුවන්ගේ අභියෝග හඳුනාගනිමින්, ඔවුන්ගේ කුසලතා ඔප්නංවමින් ඔබ ඉටුකරන අසමසම මෙහෙවර අභිමානවත් අනාගත පරපුරක පදනම සකස් කිරීමට දක්වන මහඟු කැපකිරීමකි. වෙනස් වන අධ්‍යාපන ක්‍රමවේදය ශක්තියක් කරගනිමින් දරුවන්ගේ අනාගතය ඒකාලෝක කිරීමට වෙහෙසෙන සියලුම ගුරුවන්ට මෙතෙක් කළා වූ මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය, ධෛර්යය සහ නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි!. එමෙන්ම අධ්‍යාපනය සඳහා නව සමාජ කතිකාවකට මුල පිරීමට ඔබ සැමට ආරාධනා කරමි."