හිඟ විශ්‍රාම වැටුපට විශේෂ වැඩපිළිවෙලක් - මාස 7ක විශ්‍රාම වැටුපට වෙන දේ මෙන්න
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින විශ්‍රාමිකයන් වෙත ගෙවීමට ඇති හිඟ විශ්‍රාම වැටුප් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙල ආරම්භ කර ඇත.
මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රතිපාදන මත පදනම්ව මෙම ගෙවීම් ක්‍රියාවලිය 2026 අගෝස්තු මාසයේ සිට ආරම්භ කර ඇත්තේ ගොවි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද දුක්ගැනවිලි කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්ය.
ඒ අනුව 2025 ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් සහ 2026 අප්‍රේල්, මැයි යන මාසවලට අදාළ හිඟ විශ්‍රාම වැටුප් මෙලෙස ගෙවනු ලබයි.
ඉදිරියටත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට නියමිත අතර මේ වන විට ගොවීන් 2,910 දෙනෙකු සඳහා රුපියල් මිලියන 38කට ආසන්න මුදලක් ගෙවා අවසන් කර ඇත.
1987 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ගොවීන් 871,425 දෙනෙකුට දායකත්වය ලබා දී ඇත.
ඉන් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ ගොවීන් 170,950 දෙනෙකු වෙත දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 3,975ක් හරහා මාසිකව රුපියල් මිලියන 415කට වැඩි මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවනු ලබයි.