සදුදා සිට බස් රථ වලට වෙන්න යන දේ..? ගමන් කළ හැක්කේ මේ අයට පමණයි..

By Sewvandhi Oct 02, 2021 02:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. එසේම කොරෝනා ආසාදිතයින් 893 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 518,775ක් ලෙසයි. වාර්තා වූ නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 47,726ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද මරණ 58ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් ඊයේ පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර, මෙම සතියේ මෙරටට ලද දෙවන ෆයිසර් එන්නත් තොගය මෙය වනවා. මෙම එන්නත් තොග මෙරටට ලැබී ඇත්තේ කොවැක්ස් පහසුකම යටතේ යි.

මේ අතර ඊයේ දිනයේ රට යළි විවෘත කිරීමත් සමඟ බස් රථවල මඟී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන ආකාරයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ප්‍රකාශ කළේ, ප්‍රමාණවත් තරම් මඟීන් මාර්ගවල නො මැති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා. ඒ, මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සේවක හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ගැටලුවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊයේ (01) දිනයේ සිට පෞද්ගලික බස්රථ ධාවනය සඳහා අවසර ලබාදී තිබුණද ප්‍රමාණවත් තරම් බස්රථ ධාවනයක් සිදුව නොමැති බවය.

බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනත් රැකියාවන් සඳහා යොමුවීම එම තත්ත්වයට හේතුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

"දැන් කොළඹ බස්නාහිර අපි හොයලා බැලුවහම ධාවනය වෙන්න ඕනේ බස්රථ 6000ක්. නමුත් බස්රථ 900යි ධාවනය වුණේ. ඒකට හේතුව බස්රථ සේවකයින් බහුතරයක් රියදුරු, කොන්දොස්තර සේවය අතහැරලා වෙනත් රැකියාවලට මේ අය ගිහිල්ලා තියෙනවා. මේ අයට නැවත විශ්වාසයක් නෑ මේ රස්සාවට ආවත් සතියකින් දෙකකින් රට ආපහු වැහුවොත් ඒ අයට තිබුණ එකයි අත ගහපු එකයි දෙකම නැතිවෙයි ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කෙසේවෙතත් සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන්න අවසරයක් දෙන්න විදියක් නෑ. පොලිස්පතිතුමාටත් දැනුම්දීලා තියෙනවා තදබල ලෙස සඳුදා දිනයේ සිට හිටගෙන මගීන් ප්‍රවාහනය කළොත් බස්රථ අත්අඩංගුවට ගන්න, බලපත්‍ර තහනම් කරන්න ඒ වගේම නැවත දැනුම්දෙන තුරු එම බස්රථ පොලිස් භාරයේ තියා ගන්නත් උපදෙස් මේ වන විට අපි පොලිස්පතිට ලිඛිතව යොමුකරන්න සුදානම් කරලා තියෙන්නේ. මේ වෙනකොට මාර්ග බලපත්‍ර 160කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවා තියෙනවා. තවමත් සක්‍රීය කරලා නෑ."

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ නිරෝධායන නීති කඩකරන බස් රථ සොයා සිදුකරන වැටලීම් අඛණ්ඩ ව ක්‍රියාත්මක බවයි. දුම්රිය ධාවනය සති දෙකකට අත්හිටුවා ඇති අතර, ඉන් අනතුරුව දුම්රිය ගමන්වාර 108ක් ධාවනයට සූදානම් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

එසේම නිරෝධායන ඇඳිරි නීතිය පැවති කාලසීමාව තුළ දුම්රිය අලුත්වැඩියා කටයුතු ද සිදු කර ඇති අතර, පළාත් තුළ මෙන්ම අන්තර් පළාත් ධාවනය සඳහා අවශ්‍ය කාලසටහන් ද මේ වනවිටත් සකස් කර අවසන් බවයි සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිවයින ම ආවරණය වන අයුරින් ධීවර වරායන් 23ක් විෂබීජහරණය කිරීමේ කටයුතු අද මෝදර, බේරුවල සහ තංගල්ල යන ධීවර වරායන්වලින් ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් මෙය සිදුවන අතර, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති පෞද්ගලික ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එය සිදු වූ බවයි. ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව සිදු කරන විෂබීජහරණ වැඩසටහනකට සමගාමීව යි මෙය පැවැත්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha