‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ මරණ දෙකක් - අවසන් වාර්තා සඟවා ඇති බවට සජබෙන් හෙළිදරව්වක්
ඉන්දියානු Maan Pharmaceuticals Ltd සමාගම නිෂ්පාදනය කළ ඔන්ඩැන්සෙට්‍රෝන් (Ondansetron) එන්නත (වමනය හා ඔක්කාරය පාලනය සඳහා භාවිතා වන ඖෂධය) ලබාදීමෙන් පසු කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) රෝහලේ රෝගීන් දෙදෙනෙකු මිය ගිය බවට අදාළ අවසන් වාර්තාව සඟවා තබා ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කර තිබේ.
මෙම චෝදනාව ඉදිරිපත් කරමින්, ඖෂධ මිල පාලනය කිරීමේ අසමත් වීම හේතුවෙන් රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ කාණ්ඩ 400කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා රෝගී ජීවිත අවදානමකට ලක්ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
ඊයේ(11) සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි සහ වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
පැමිණිල්ලේ ප්‍රධාන චෝදනා
NMRAහි වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යටතේ ඖෂධ නියාමනය දුර්වල මට්ටමකට පත්ව ඇති බව.
ලියාපදිංචි නොවූ ඖෂධ පිළිබඳ වහාම විමර්ශනයක් කළ යුතුය.
ඖෂධ මිල පාලන කමිටුවල සේවය කරන ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් හා මහාචාර්යවරුන් ඖෂධ සමාගම් සමග ඍජු ගනුදෙනු කරන බවත්, එබැවින් මිල පාලන ගැසට්ටු හෝ කමිටුවලට විශ්වාසයක් තැබිය නොහැකි බවත්.
වෛද්‍යවරුන් ඇතුළු මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන්ගේ වැටුප් දීමනා වැඩිකිරීම අවධානයට ලක් නොකිරීම කනගාටුදායක බව.
ඔන්ඩැන්සෙට්‍රෝන් ගැටලුව
ජාතික ඖෂධ ගුණාත්මකභාවය සහතික කිරීමේ පරීක්ෂණාගාරයේ (NMQAL) පරීක්ෂණවලදී එක් කාණ්ඩයක ගැටලු මතු වී ඇති බව වාර්තා වේ.
අදාළ අවසන් වාර්තාව හෙළි නොකර, NMRA සභාපතිවරයා එය ඔස්ට්‍රේලියාවේ මධ්‍යස්ථ සමාගමකට (අන්තර්ජාතික පිළිගත් රසායනාගාරයකට) යොමු කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇත.
මෙම සමාගමේ ඖෂධ තාවකාලිකව භාවිතය අත්හිටුවා ඇති අතර, රෝහල් පද්ධතියේ බරපතල ඖෂධ හිඟයක් මතු වී ඇත.
ඔන්ඩැන්සෙට්‍රෝන් තහනම් කිරීමෙන් ඇති වන හිඟය මඟහරවා ගැනීමට මැක්සලොන් (Maxolon) වැනි ආදේශක ඖෂධ ගෙන්වීමට හැකියාව තිබියදී එවැනි සැලැස්මක් නොමැති බවත්, මැක්සලොන් දැනට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බරපතල හිඟයක පවතින බවත් වාර්තා වේ.
මෙම ගැටලුව 2025 දෙසැම්බර් සිට මතු වූ අතර, NMRA විසින් Maan Pharmaceuticalsහි එන්නත කාණ්ඩයේ ඖෂධ බොහෝමයක් තාවකාලිකව ඉවත් කර ඇති අතර, විමර්ශන තවමත් පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශය හා NMRA මෙය රෝගීන්ගේ යටින් රෝග තත්ත්වයන් හේතුවෙන් සිදුවූ බව පවසන නමුත්, විපක්ෂය හා වෛද්‍ය සංගම් බරපතල චෝදනා එල්ල කරමින් ඉහළ මට්ටමේ වගවීමක් ඉල්ලා සිටී.