ශිරන්ති රාජපක්ෂ ලංකාවට - ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගනීවි යැයි බියෙන් - කලින්ම ඇප ඉල්ලුමක්
විදෙස්ගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණ ඇත. මැලේසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙන් ඇය මෙලෙස පැමිණි බව මාධ්‍ය වාර්තා කරයි.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කැඳවීම් ලද, ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත.
ඒ, ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් වන අතර මෙම ඉල්ලීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා ඉදිරියේ කැඳවා ඇත.
මෙහි වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා නම් කර තිබේ.
ඇය පැමිණිල්ලෙන් දන්වා සිටියේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේදී පොලිසිය විසින් ගුවන්තොටුපොළේදී තමන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බවයි.
සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ පසුබිමකයි පසුගියදා ඇය සිංගප්පූරුවට පිටත්ව ගොස් ඇත.
පසුව ඇය අදාළ ප්‍රකාශය දීම සදහා වෙනත් දිනයක් ඉල්ලා තිබූ අතර, ඒ වන විට හිටපු ජනාධිපති ආර්යාව නොපැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දී ඇති බව වාර්තා වේ. එවන් පසුබිමක ඇය මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර ඇත.