ඒ පාර මේ මොකක්ද අලුත් කතාවක් - එක්නැලිගොඩගේ නඩුවට ශානි අබේසේකරත් සාක්ෂි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැරගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති බව නීතිපතිවරයා අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව නාමල් බලල්ලේ, මහේෂ් වීරමන්, සහ සුජීව නිශ්ශංක යන විනිසුරුතුමාන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මඩුල්ල ඉදිරියේ කැඳවුණි.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයට පැවසුවේ, විමර්ශන කටයුතු අධීක්ෂණය කළ ශානි අබේසේකර මහතා මේ වනවිටත් සාක්ෂිකරුවෙකු ලෙස නම් කර නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 2022 නොවැම්බර් 29 වැනිදාදී ශානි අබේසේකර මහතා සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට තමන් කළ ඉල්ලීම සලකා බලන බව එවකට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා දැනුම් දී ඇති බවයි. එහෙත්, නීතිපතිවරයා නවතමයෙන් අද අධිකරණයට දන්වා සිටියේ ශානි අබේසේකර මහතා නඩුවේ 109 වන සාක්ෂිකරුවා ලෙස දැනටමත් නම් කර ඇති බවයි.
නඩුවේ විභාගය ජූලි 18 වැනිදා දක්වා කල් දමන ලදී. මෙම නඩුවට විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාර රත්න සහ යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් නවදෙනෙකු නම් කර තිබේ.
2010 ජනවාරි 25 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී, ගිරිතලේ, හබරණ සහ කොට්ටාව ප්‍රදේශවලදී මෙම විත්තිකරුවන් තවත් නම් නොකළ පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම, රහසිගතව සිරකර තැබීම සහ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබේ.
