ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට නව තනතුරක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වත්මන් අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති (DIG) තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කර තිබේ.
මෙම තීන්දුව සම්බන්ධයෙන් අද (2026 මැයි 13) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
මෙම සුවිශේෂී උසස්වීම 2026 අගෝස්තු මස 25 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන ලෙස විනිශ්චයාධිකාරය නියෝග කර ඇති අතර, මීට පෙර ඔහු වැඩ තහනමට ලක් වූ දින සිට මේ දක්වා කාලය තුළ අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා වහාම ගෙවීමට ද තීන්දුවේ සඳහන් වේ.
මෙය වසර කිහිපයක් තිස්සේ ඔහු මුහුණ දුන් නීතිමය සහ පරිපාලනමය අභියෝග රැසක අවසානයක් ලෙස සැලකේ. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ දක්ෂතම විමර්ශන නිලධාරියෙකු ලෙස සැලකෙන ශානි අබේසේකර මහතා, මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ අතිශය සංකීර්ණ සහ ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන මෙහෙයවූවෙකි.
2020 වසරේදී අත්අඩංගුවට පත්ව මාස 11ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු, පසුව අභියාචනාධිකරණය මගින් ඇප මත මුදා හරින ලදී.
අනතුරුව 2024 වසරේදී නැවත සේවයේ පිහිටුවනු ලැබූ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී.