හෙට සිට අධිවේගයේ ගමන් කරන හැමෝටම නීතිය තද කරයි – ආසන පටි නොදැම්මොත් වෙන දේ මෙන්න
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙළේ තවත් පියවරක් ලෙස, එළඹෙන ජුනි 19 වනදා සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම රියදුරන්ට සහ මගීන්ට ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්ය කර ඇත.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (17) කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
එහිදී අධිවේගී මාර්ගවල ගමන් කළ වාහනවල රියදුරන් සහ මගීන්ට අත්පත්‍රිකා බෙදා දෙමින් ආසන පටි පැලඳීමේ වැදගත්කම සහ ජුනි 19 සිට නීතිය බලාත්මක වන බව පිළිබඳව දැනුවත් කෙරිණ.
අමාත්‍යාංශය මගින් මුද්‍රිත “ආදරණීයයන් වෙනුවෙන් Click එකක්” යන තේමාව සහිත අත්පත්‍රිකා බෙදා දීමද මෙහිදී සිදු කෙරිණ.
එය රියදුරන් සහ මගීන් අතර විශේෂ අවධානයට ලක් විය.
ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීමට රියදුරන් සහ මගීන්ට ලබා දී තිබූ මාස තුනක සහන කාලය ජුනි 19 වනදායින් අවසන් වන අතර, එදින සිට නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය.
ඒ අනුව සාමාන්‍ය මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරු සහ ඉදිරිපස ආසනයේ ගමන් ගන්නා මගියා ආසන පටි පැලඳීම අනිවාර්ය වේ.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරු සහ සියලුම මගීන් ආසන පටි පැලඳිය යුතුය.
මෙම නීතිය කඩ කරන පුද්ගලයන්ට රුපියල් 1,000 දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවේ.
නීතිමය ප්‍රතිපාදන අනුව ඉදිරියේදී රියදුරු, මගී සහ වාහන හිමිකරු යන සියලුදෙනාම මෙම වගකීමට යටත් වනු ඇත.
කොට්ටාවේ පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් R.A.D. කහටපිටිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.