නේපාලයේ උමඟක් තුළ දින 8ක් සිරවී සිටි සේවකයින් දෙදෙනෙකු ජීවිත බේරාගනී
නේපාලයේ ඇති වූ මහා ජලගැලීම් සහ හදිසි ගංවතුර තත්ත්වය හමුවේ ජල විදුලි බලාගාරයක උමඟක් තුළ සිරවී සිටි සේවකයින් දෙදෙනෙකු දින 8කට පසු පණපිටින් බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබේ.
මෙලෙස මුදාගෙන ඇත්තේ 'ත්‍රිශුලි 3 ඒ' ජලවිදුලි ව්‍යාපෘතියට අදාළ බලාගාරයේ සේවය කළ 30 හැවිරිදි සංජේ ෂා සහ 45 හැවිරිදි කබීර් මහාර්ජන් යන දෙදෙනා බව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුං මාධ්‍ය හමුවේ තහවුරු කළේය.
පසුගිය අගෝස්තු 26 වනදා හිමාලයානු කලාපයේ සිදුවූ ග්ලැසියරයක් කඩා වැටීමත් සමඟ හටගත් මහා ජල කඳ පහළ නිම්නය දිගේ ටිබෙටය හරහා නේපාලයට ගලා ඒමෙන් මෙම විනාශකාරී ව්‍යසනය හටගෙන තිබුණි.
එම ස්වාභාවික ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයින් 1,250 කට වැඩි පිරිසකගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර, තවත් 5,000 කට අධික පිරිසක් අතුරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවදුරටත් උමං මාර්ග කිහිපයක සේවකයින් 100 කට ආසන්න පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කෙරෙන අතර, ඔවුන් මුදාගැනීමේ සංකීර්ණ සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය සුදාන් ගුරුං වැඩිදුරටත් සඳහන් කළේය.