දරුවෝ දෙමව්පියෝ නොඉවසිලෙන් බලා ඉන්න ශිෂ්‍යත්ව විභාගය ගැන දැන් ලැබුණු ආරංචිය...අගමැතිනියගේ තීරණය..?

CID - Sri Lanka Police Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Harini Amarasuriya AKD
By Sewvandhi Oct 10, 2024 08:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අග්‍රාමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මේ වනවිට නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, එම කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යවරිය වෙත ලබා දී ඇති බවයි.අදට ශිෂ්‍යත්ව විභාගය පවත්වා දින 25ක් ගත වුවත් එහි ඇගයීම් කටයුතු තවමත් ආරම්භ වී නැහැ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා නියෝග කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව නතර කර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටයි.

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස දෙමාපියන් කරනු ලැබූ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙසයි, ජනාධිපතිවරයා මෙම නියෝගය කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විද්වත් කමිටුව ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ.

එහෙත් එම කමිටුව විසින් ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා තවත් ස්වාධීන කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරිය විසින් පසුගිය දා පියවර ගත්තා.

එම කමිටුවේ වාර්තාව ද පසුගිය දා ඇය වෙත භාර දීමටයි කමිටුවේ නියෝජිතයින් පියවර ගත්තේ.

එමෙන්ම, මානව හිමිකම් කොමිසමට දෙමාපියන් විසින් සිදු කළ පැමිණිලිවලට අනුව අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුව නියෝග කළේ, අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා ලෙසයි .

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිට වී ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුවයි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලැසුම් අධ්‍යක්ෂවරයා සහ අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.