මැදපෙරදිග ගෘහ සේවිකාවන්ට හඳුන්වා දුන් රක්‍ෂණ ක්‍රමයෙන් කෝටි ගණන් ගරපු හැටි.
මැදපෙරදිග ගෘහ සේවයේ රැකියාවල නියුතු ශ්‍රී ලංකාවේ කාන්තාවන් රක්‍ෂණය කිරීම සඳහා හඳුන්වාදී ඇති “රක්‍ෂණ ක්‍රමය” කෝටි ගණනින් කොමිස් ගරා ගන්නා මහ පරිමාණයේ ජාවාරමක් බවට පත්ව තිබෙන බව, කුවේට්හි ශ්‍රී ලංකා විගමනික සුබසාධක සංගමය පෙන්වා දෙනවා.
එම සංගමය විසින් එරට ශ්‍රී ලංකා තානාපති ඒ බව සඳහන් කරමින්, ලිපියක් යවා තිබෙනවා.
අදාළ ලිපිය මඟින් පේනවා දෙන්නේ, මෙම රක්‍ෂණ ක්‍රමය හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් කිසිදු නීත්‍යනුකුල ටෙන්ඩර් පටිපාටියක් නිසි ලෙස අනුගමනය කර නොමැති බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුවේට් සේවායෝජකයන් සඳහා ඕමානය පදනම් කරගත් National Life & General Insurance Company SAOG සමාගම සමඟ අනිවාර්ය කරමින් අගතිගාමී ප්‍රසිද්ධ තැරැව්කරුවකු මගින් මෙම රක්‍ෂණය හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව එසේ අනිවාර්ය කරන චක්‍රලේඛයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කළමනාකාර ඩී.ඩී.පී. සේනානායක අස්සනින් ලියාපදිංචි රැකියා නියෝජිත සංගම් වෙත යවා තිබෙනවා.
මෙම යෝජනා ක්‍රමයෙන් වසර දෙකක කාලයකට රක්‍ෂණ ආවරණය සඳහා අමෙරිකානු ඩොලර් 141 (කුවේට් ඩිනාර් 44) මිලක් නියම කර තිබෙන බව ත්, මේ හා සමාන රක්‍ෂණ ආවරණයක් කුවේට්හි ඉහළ ශේර්ණිගත කුවේට් රක්‍ෂණ සමාගම්වලින් වසර දෙකක කාලවකවානුවක් සඳහා රක්‍ෂණ ආවරණයක් අමෙරිකානු ඩොලර් 50කට (කුවේට් ඩිනාර් 16කට) ගත හැකිව තිබියදී ඉහත සඳහන් රක්‍ෂණ ආවරණයන් අමෙරිකානු ඩොලර් 91ක් එනම් ශ්‍රී ලංකා රුපියල් 33,750ක් පගාව හෝ කොමිස් ලෙස ලබා ගෙන තිබෙන බව තානාපතිවරයා වෙත විගමනික ශ්‍රමික සුබසාධන සංගමය යැවූ ලිපියේ දැක්වෙනවා.
මෙම මහා පරිමාණ කොමිස් ගැහිල්ල ගැන සංගමයේ සභාපති මිල්හාන් සඳහන් කළේ, මෙම දූෂිත රක්‍ෂණ සමාගම මසකට අමෙරිකානු ඩොලර් නවලක්‍ෂයක් කොමිස් උපයා ගන්නා බවයි.
එම මුදල ශ්‍රී ලංකාවේ රුපියල්වලින් ගණන් බැලුවොත් මිලියන 330ක් එනම් කෝටි 33ක්.
මේ අනුව, මෙම රක්‍ෂණ ක්‍රමය මුළුමනින්ම අගතිගාමී හා විශාල කොමිස් ගනුදෙනු සඳහා පෙලඹී සිදුකරන්නක් බව පැහැදිලිව පෙනෙන බැවින් මෙම කරුණු පිළිබඳව සොයා බලා හා කුවේට්හි පිළිගත් ඕනෑ ම ලියාපදිංචි රක්‍ෂණ සමාගමකට ඉඩකඩ ලැබෙන පරිදි සාධාරණ රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට බලධාරීන්ට මග පෙන්වන ලෙස එම සංගමය එරට ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා විගමනික ශ්‍රමික සුබසාධක සංගමය අවධාරණය කරන්නේ, මෙම රක්‍ෂණ ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා විශාල වශයෙන් වීසා ලැබීම පහත වැටීමකට මුහුණ පා සිටින බවයි.
එමෙන්ම ප්‍රධාන වශයෙන් කුවේට්හි වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර ලේකම් විසින් නිකුත් කරන ලද 2009 මැයි 07 දිනැති අංක 14120 යෝජනාව මත සේවායෝජකයන් ගෙවන රක්‍ෂණ ක්‍රමයක් කුවේටය තුළ ක්‍රියාත්මක කිරීම කුවේට් නීතියට පටහැනි බවත් වෙනත් රටවල් ඉහත සඳහන් කුවේට් නීතිය සැලකිල්ලට ගනිමින් තම රටවල රක්‍ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බැවින් සේවායෝජකයන් හිතාමතාම ශ්‍රී ලාංකික සංක්‍රමික ශ්‍රමිකයන් බඳවා ගැනීමෙන් වැළකී සිටින බවත් හුවමාරු මිල ගණන් අඩු කළ හොත් ශ්‍රී ලංකාවට මසකට අවම වශයෙන් එවන ඩොලර් මිලියන 4ක ප්‍රේෂණයන්ට මෙය දැඩි ලෙස බලපාන බවත් සංගමය පවසනවා.
මෙම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ලියාපදිංචි විදෙස් රැකියා නියෝජිත සංගමයේ සභාපති වෙතට එවා ඇති බව ද සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. |