කාන්තාවන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට සජිත් සැරසේ

Sajith
By Thaya Apr 10, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

සමගි වනිතා බලවේගය හරහා කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක කට්ටල නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ''ආර්තව දරිද්‍රතාවයට තිත තබමු'' මැයෙන් ජාත්‍යාන්තර කාන්තා දිනයට සමගාමීව සමගි වනිතා බලවේගය සංවිධාන කළ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැත්වුණි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, "ආර්තව දරිද්‍රතාවය කියන මාතෘකාව ජන සමාජයේ සාකච්ඡාවට භාජනය නොවුණු මාතෘකාවක්. එදා ජනාධිපතිවරණයේදී අපි පොරොන්දුවක් දුන්නා. මුළු රටේම මෙම මෙවලම්, ආම්පන්න නොමිලේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා ආර්තව දරිද්‍රතාවයට ශක්තිමත් ප්‍රායෝගික විසඳුමක් ලබාදිය යුතුයි. එදා අපිට විරුද්ධ වූ අය අපි කිව්ව දේවල් අඩුම තරමින් වාචිකව හරි අද පිළිඅරන් තියෙනවා. තාමත් ඒ අයට ශක්තියක් ලැබිලා නෑ මේක ක්‍රියාත්මක කරන්න. නමුත් සමගි වනිතා බලවේගය හරහා අනාගතයේදී සනීපාරක්ෂක කට්ටල අපේ රටේ පාසල් දැරියන්ට, කාන්තාවන්ට නොමිලේ ලබාදීලා ජාතික වැඩසටහනක් බවට පත්කිරීම අපි භාර ගන්නවා."