අඩා සහ ඔහුගේ බිරිඳගේ රු.මි. 44.5ක දේපළ ක්‍රියාවිරහිත කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් මිලියන 44.5ක් වටිනා ඉඩමක් සහ දෙමහල් නිවසක් ඇතුළු දේපළ ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.
ඒ අනුව, අදාළ දේපළ සම්බන්ධයෙන් අද (02) දින සිට බලපැවැත්වෙන පරිදි වැඩකරන දින 14ක කාලයක් සඳහා කවර හෝ ගනුදෙනුවක් කිරීම තහනම් කරමින් අත්හිටුවීමට කටයුතු කර තිබේ.
රණසිංහ ආරච්චිගේ සමන් කුමාර නොහොත් 'අඩා' සහ ඔහුගේ බිරිඳ වන තොටවත්ත බටගේ සංගීතා ප්‍රියදර්ශනී යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව සිදු කළ විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය වී ඇත.
සංගීතා ප්‍රියදර්ශනී නමැත්තියගේ නමින් පහල කඩුනේරිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 24.80ක ඉඩම රුපියල් ලක්ෂ 95කට මිලදී ගෙන ඇති බවත්, පසුව රුපියල් කෝටි 3.5ක පමණ මුදලක් වැයකරමින් එහි දෙමහල් නිවසක් ඉදිකර ඇති බවත් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
එබැවින්, 2026 අංක 16 දරන පනතින් සහ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව, අදාළ දේපළ සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි ගනුදෙනු වැළැක්වීම සඳහා මෙලෙස අද (02) සිට වැඩකරන දින 14ක කාලයකට අත්හිටුවීමට කටයුතු යොදා ඇත.