සතුටින් ජීවත් වීමට දිනපතා ජීවිතයට එක් කරගත හැකි සරල පුරුදු 12ක් මෙන්න

Report

 සතුට කියන්නේ සෑම කෙනෙකුටම එකම ආකාරයෙන් දැනෙන දෙයක් නොවෙයි. එක් පුද්ගලයෙකුට සතුටක් ගෙන දෙන දෙයක් තවත් කෙනෙකුට එතරම් වැදගත් නොවිය හැකියි. එහෙත් දිනපතා ජීවිතයට යහපත් පුරුදු කිහිපයක් එක් කරගැනීමෙන් මානසික සුවතාව මෙන්ම ජීවිතය පිළිබඳ තෘප්තියද වැඩි කරගැනීමට හැකියි.

ඒ නිසා මේ පුංචි පුරුදු කිහිපය ඔබේ දෛනික ජීවිතයට එකතු කරගැනීමෙන්, වඩාත් සතුටින් සහ යහපත් මානසික සුවතාවකින් යුතුව ජීවත් වීමට ඔබටත් හැකි වේවි.

1. ව්‍යායාම කරන්න ව්‍යායාම කිරීම ශරීර සෞඛ්‍යයට පමණක් සීමා නොවෙයි.

දිනපතා ඇවිදීම, දිගහැරුම් ව්‍යායාම කිරීම හෝ තමන් කැමති සරල ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීම මානසික ආතතිය අඩු කර මනෝභාවය යහපත් කරගැනීමට උපකාරී විය හැකියි. ව්‍යායාමයට අලුතින් පටන් ගන්නවා නම් දිගු වේලාවක් හෝ දැඩි ව්‍යායාමවලින් ආරම්භ කිරීම අවශ්‍ය නැහැ. දිනකට මිනිත්තු කිහිපයක් ඇවිදීමෙන් ආරම්භ කර ක්‍රමයෙන් කාලය වැඩි කරගත හැකියි.

2. ප්‍රමාණවත් නින්දක් ලබාගන්න ප්‍රමාණවත් නින්දක් නොලැබීම

දවස පුරා වෙහෙසට පත්වීමට මෙන්ම අවධානය සහ මනෝභාවය කෙරෙහිද බලපාන්න පුළුවන්. වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් රාත්‍රියකට අවම වශයෙන් පැය 7ක නින්දක් අවශ්‍යයි. හැකිතාක් සෑම දිනකම එකම වේලාවකට නින්දට යාම, නින්දට පෙර ජංගම දුරකථනය භාවිතය අඩු කිරීම සහ සුවපහසු නිදන පරිසරයක් සකස් කරගැනීම වැනි පුරුදුද නින්දේ ගුණාත්මකභාවය වැඩි කරගැනීමට උපකාරී විය හැකියි.

3. ස්තුතිවන්ත වීමට පුරුදු වන්න

ජීවිතයේ සිදුවන විශාල දේවල් පමණක් නොව, කුඩා හොඳ දේවල්ද හඳුනාගෙන ඒවා අගය කිරීම වැදගත්. උදෑසන ලැබෙන උණුසුම් කෝපි කෝප්පයක්, මිතුරෙකුගේ කෙටි පණිවිඩයක් හෝ පවුලේ අය සමඟ ගත කළ සතුටුදායක මොහොතක් වුවද ඒ සඳහා ස්තුතිවන්ත විය හැකියි. දිනකට තමන් ස්තුතිවන්ත වන කරුණු කිහිපයක් සිහිපත් කිරීමෙන් අවධානය ධනාත්මක දේ වෙත යොමු කරගැනීමට පුරුදු විය හැකියි.

4. අවශ්‍ය නොවන දේ ඉවත් කරන්න

අවුල් සහගත පරිසරයක් සමහර විට මනසටද අනවශ්‍ය පීඩනයක් ඇති කළ හැකියි. ඒ නිසා නිවසේ හෝ කාර්යාලයේ ඇති අවශ්‍ය නොවන භාණ්ඩ ක්‍රමයෙන් ඉවත් කර පිළිවෙළකට තබාගැනීම ප්‍රයෝජනවත් විය හැකියි. මේ සඳහා විශාල කාලයක් වෙන් කිරීම අවශ්‍ය නැහැ. සතියකට විනාඩි 20ක් වැනි කෙටි කාලයක් වෙන් කර එක් ස්ථානයක් පමණක් පිරිසිදු කිරීමෙන් ආරම්භ කළ හැකියි.

5. මිතුරන් සමඟ කාලය ගත කරන්න

මිනිසුන්ට අර්ථවත් සමාජ සබඳතා අවශ්‍යයි. ඒ සඳහා මිතුරන් විශාල පිරිසක් සිටීම අනිවාර්ය නැහැ. තමන්ට විශ්වාස කළ හැකි එක් හෝ දෙදෙනෙකු සමඟ වුවද හොඳ සබඳතාවක් පවත්වා ගැනීම වැදගත්. කාර්යබහුල ජීවිතයක් ගත කළත් මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාදීම, එකට ආහාර වේලක් ගැනීම හෝ කෙටි වේලාවක් හමුවීම වැනි සරල දේවලින් සබඳතා ශක්තිමත් කරගත හැකියි.

රස්සාව මතක් වෙද්දිත් තිත්ත වෙනවද? එහෙනම් මේක ඔයාට කියවන්නම වෙනවා

රස්සාව මතක් වෙද්දිත් තිත්ත වෙනවද? එහෙනම් මේක ඔයාට කියවන්නම වෙනවා

6. ස්වභාවධර්මය සමඟ කාලය ගත කරන්න

දවස පුරා නිවසක් හෝ කාර්යාලයක් තුළම සිටිනවා වෙනුවට ස්වභාවධර්මය සමඟ යම් කාලයක් ගත කිරීම මනසට විවේකයක් ලබාදිය හැකියි. ඒ සඳහා දුර ගමනක් යාම අවශ්‍ය නැහැ. ළඟම ඇති උද්‍යානයකට යාම, ගෙවත්තේ ටික වේලාවක් ගත කිරීම හෝ හරිත පරිසරයක ඇවිදීම වැනි සරල ක්‍රියාකාරකම් පවා කළ හැකියි. සතියකට විනාඩි 30ක් පමණ හරිත පරිසරයක ගත කිරීමට උත්සාහ කළ හැකියි.

7. අන් අයට උපකාර කරන්න

අන් අය වෙනුවෙන් කරන කුඩා යහපත් ක්‍රියාවක් පවා තමන්ට සතුටක් ලබාදිය හැකියි. කෙනෙකුට අවශ්‍ය අවස්ථාවක උදව් කිරීම, මිතුරෙකුට සහාය වීම හෝ කෙනෙකුගේ හොඳ දෙයක් අගය කිරීම ඒ සඳහා උදාහරණයි. එය විශාල දෙයක් විය යුතු නැහැ. දිනකට එක් පුද්ගලයෙකුට හොඳ වචනයක් පැවසීම වැනි කුඩා ක්‍රියාවකින් වුවද ආරම්භ කළ හැකියි.

8. තනිව කාලය ගත කරන්න

අන් අය සමඟ කාලය ගත කිරීම මෙන්ම තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරගැනීමද වැදගත්. තනිව සිටීම යනු තනිකමක් අත්විඳීම පමණක් නොවෙයි. තමන් කැමති ආහාරයක් තනිව රසවිඳීම, චිත්‍රපටයක් නැරඹීම, පොතක් කියවීම හෝ කැමති ස්ථානයකට යාම වැනි දේවලට කාලය වෙන් කරගත හැකියි. එමඟින් තමන්ට සැබවින්ම සතුට ලබාදෙන දේවල් හඳුනාගැනීමට අවස්ථාව ලැබේ.

9. සතුටුදායක දේ ලියා තබන්න

දවසේ කාර්යබහුලත්වය අතරතුර අපට සිදුවූ හොඳ දේවල් අමතක වී යා හැකියි. ඒ නිසා සතුටුදායක මතකයන්, අනාගතයේ බලාපොරොත්තු වන දේවල් හෝ තමන්ට සතුට ලබාදෙන කුඩා කරුණු ලියා තැබීම හොඳ පුරුද්දක්. මේ සඳහා වෙනම සටහන් පොතක් භාවිත කළ හැකි අතර, ජංගම දුරකථනයේ සටහනක් ලෙස වුවද ඒවා ලියා තැබිය හැකියි. විශේෂයෙන් දුෂ්කර දවසකදී එම සටහන් නැවත කියවීමෙන් යහපත් මතකයන් සිහිපත් කරගත හැකියි.

10. වසරකට වරක් තම ජීවිතය ගැන සිතා බලන්න

අපි දිනපතා කාර්යබහුල වන නිසා තමන්ගේ ජීවිතය පිළිබඳව නැවත සිතා බැලීමට කාලයක් වෙන් නොකරන අවස්ථා තිබෙනවා. එබැවින් වසරකට වරක් හෝ තමන්ගේ ජීවිතය ගැන නිදහසේ සිතා බැලීම වැදගත්. පසුගිය වසරේ සිදුවූ වෙනස්කම්, තමන් ලැබූ අත්දැකීම්, සතුටු වූ අවස්ථා සහ ඉදිරියේදී වෙනස් කිරීමට අවශ්‍ය දේවල් ගැන සිතා බලන්න. ඒ වෙනුවෙන් තමන්ව දැඩි ලෙස විවේචනය කිරීම වෙනුවට සිදුවූ දේවල් පිළිබඳව සාමකාමීව සලකා බැලීම වැදගත්.

11. තම ඉලක්ක නැවත සලකා බලන්න

අද අපට වැදගත් වන ඉලක්කයක් තවත් වසර කිහිපයකින් අපට එතරම් වැදගත් නොවිය හැකියි. මිනිසුන්ගේ අවශ්‍යතා, සිහින සහ ප්‍රමුඛතා කාලයත් සමඟ වෙනස් වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා කලින් තෝරාගත් ඉලක්කයක් තවදුරටත් තම ජීවිතයට ගැළපෙන්නේ නැත්නම් එය වෙනස් කිරීමට බිය විය යුතු නැහැ. තමන්ට සැබවින්ම වැදගත් දේ හඳුනාගෙන ඒ අනුව ඉදිරි ඉලක්ක සකස් කරගැනීම වඩාත් වැදගත්.

12. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න

ශාරීරික සහ මානසික සෞඛ්‍යය එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා සතුටින් ජීවත් වීමට උත්සාහ කරන අතරතුර ශරීර සෞඛ්‍යය ගැනද අවධානය යොමු කළ යුතුයි.

නිසි වේලාවට වෛද්‍ය පරීක්ෂණ සිදුකරගැනීම, දන්ත පරීක්ෂණ සහ ඇස් පරීක්ෂා කරගැනීම වැනි දේ නොසලකා නොහැරීම වැදගත්. තමන්ගේ ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටීමද සෞඛ්‍යය රැකගැනීමට උපකාරී වේ.

සතුට වෙනුවෙන් ඔබට ගැළපෙන පුරුදු තෝරාගන්න සතුට වැඩි කරගැනීම සඳහා මේ සියලු පුරුදු එකවර ජීවිතයට එක් කරගැනීම අවශ්‍ය නැහැ.

ඔබට පහසු එක් කුඩා පුරුද්දකින් ආරම්භ කර එය ක්‍රමයෙන් දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කරගත හැකියි. එක් එක් පුද්ගලයාට ගැළපෙන දේ වෙනස් බැවින්, ඔබට සතුට සහ මානසික සුවතාව ලබාදෙන පුරුදු හඳුනාගෙන ඒවාට වැඩි ඉඩක් ලබාදීම වැදගත්.

කෙසේ වෙතත්, දිගු කාලයක් පුරා අසතුට, දුක හෝ මානසික පීඩනය අඩු නොවන්නේ නම්, ඒ පිළිබඳව වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කිරීම වැදගත් වේ.

අභියෝග මැද ජයග්‍රහණය කරා යන්න මනස පුහුණු කරන ක්‍රම 10ක්

අභියෝග මැද ජයග්‍රහණය කරා යන්න මනස පුහුණු කරන ක්‍රම 10ක්