මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රිමාන්ඩ්
මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ලබන ඔක්තෝබර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ අල්ලස් ලබාදීමට පෙළඹවීම සම්බන්ධ සිද්ධියකට අදාළව ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම රෙජිස්ට්‍රාර්වරයා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ, කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ සේවය කළ චරිත් නමැති සේවකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ WhatsApp පණිවිඩ පරීක්ෂා කිරීමේදී වත්මන් සැකකරු සම්බන්ධ තොරතුරු අනාවරණය වූ බවත් කොමිසමේ නිලධාරීන් අධිකරණයට සඳහන් කර තිබේ.
අදාළ අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරු සහ චරිත් නමැත්තා අතර හඬ පණිවිඩ සහ කෙටි පණිවිඩ හුවමාරු වී ඇති බවද අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ තිබූ WhatsApp යෙදුම මකා දමා ඇති බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර තිබේ.
විමර්ශන කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයා කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරු ඔක්තෝබර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.