සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට සුබ පණිවිඩයක්
පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය යටතේ සංගීතය, නර්තනය, චිත්‍රකලාව සහ රංගනය වැනි කලා විෂයයන් අඛණ්ඩව ඉගැන්වීමට උත්සාහ කළත්, බොහෝ පාසල්වල අවශ්‍ය උපකරණ හිඟයක් පවතින බව නිරීක්ෂණය වී ඇත.
එසේම, දරුවන්ගේ අවශ්‍යතා සපුරා ගත හැකි නවීන උපකරණ පාසල් පද්ධතියේ නොමැති අතර, පවතින උපකරණ බොහෝ විට යල් පැන්වීම හෝ අබලන් වීමෙන් දරුවන්ට පරිශීලනය කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ.
මෙම අවස්ථාව සෞන්දර්ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට හා දරුවන්ගේ සමස්ත පෞරුෂ වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරන බව නිරීක්ෂණය කර ඇති අතර, එම හේතුවෙන් පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෞන්දර්ය උපකරණ සැපයීමේ ව්‍යාපෘතියක් යෝජිතව ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 1,215 ක් වන අතර, 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාව අග්‍රාමාත්‍යවරිය විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කර ඇත.