ශ්‍රී ලංකාවේ වාහක රෝග පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සමාලෝචනයක්...
ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කර ඇත.
දින 03 ක් පුරා සිදු කළ ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුලු නියෝජිත පිරිස අද (17) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කර තිබේ.
මෙහිදී මෙම රෝග මර්දනය කිරීමට සහ පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ප්‍රතිකාර සේවාවන් ඉතා විශිෂ්ට මනා කළමණාකරණයකින් සහ සාධනීය මට්ටමක පවතින බව එම නියෝජිත පිරිස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත පෙන්වා දී තිබෙනවා.
එමෙන් ම,මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග පාලනය, මර්දනය සහ ප්‍රතිකාර සේවා අංශයන් ද ශක්තිමත් කිරිමට ද පියවර ගෙන ඇති බවත් මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිස වෙත පෙන්වා දී ඇත.

