2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වෙයි
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අද පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 12 වැනිදා අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව නොවැම්බර් 13 වැනිදා සිට අද දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි. මේ අතර, අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනය ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වනු ඇත. අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.