ජපන් යතුරුපැදි සිහිනය පැත්තකින් තියන්න වෙලා - ඉන්දියානු බයික් එකක් ගන්නත් බැරි බව රෝහණ බණ්ඩාර කියයි [VIDEO]

By Malith Madushan Nov 20, 2026 12:20 PM GMT
Report

රජය විසින් යතුරුපැදි සඳහා ලීසිං පහසුකම් ලබාගැනීමේදී සියයට 60%ක මූලික ගෙවීමක් අනිවාර්ය කර ඇති බවත්, ඒ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට යතුරුපැදියක් මිලදී ගැනීම පවා අසීරු වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) සිකුරාදා පාර්ලිමේන්තුවේදී 2027 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, රටේ දරුවන්ට ජපන් යතුරුපැදි පැදීමේ සිහිනයක් මවා තිබුණද, මේ වන විට ඉන්දියානු හෝ චීන යතුරුපැදියක් මිලදී ගැනීම පවා දුෂ්කර වී ඇති බවයි.

යතුරුපැදි මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, ලීසිං පහසුකම් ලබාගැනීම සඳහා සියයට 60ක මූලික ගෙවීමක් සිදුකිරීමට සිදුවීම හේතුවෙන් ජනතාවට යතුරුපැදියක් මිලදී ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අධිකරණ අභියෝගයක් - අභියාචනාධිකරණයට පෙත්සමක්

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අධිකරණ අභියෝගයක් - අභියාචනාධිකරණයට පෙත්සමක්

එමෙන්ම, 1000cc ඉහළ ධාරිතාවකින් යුත් යතුරුපැදි භාවිත කිරීමට ද අවස්ථාව සලසා දෙන ලෙසත්, ඒ සඳහා බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

මේ අතර, විපක්ෂය අයවැය සම්බන්ධයෙන් හුදෙක් විවේචන පමණක් ඉදිරිපත් කරන බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් රෝහණ බණ්ඩාර මහතා පැවසුවේ, 2027 අයවැය සකස් කිරීමට පෙර විපක්ෂ නායක කාර්යාලය මූලික කරගෙන ජනතා අදහස් විමසීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවයි.

විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ එම වැඩසටහන '2027 අයවැය විපක්ෂ නායකට කියන්න' ලෙස නම් කර තිබූ බව ද ඔහු සඳහන් කළේය.

එම ජනමත විමසුම හරහා ජනතාවගෙන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්ගෙන් ද යෝජනා ලබාගත් බව පැවසූ මන්ත්‍රීවරයා, එම යෝජනා ඇතුළත් ලේඛනයක් ද පාර්ලිමේන්තුවට සභාගත කරමින් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කළේය.

වායු ගුණාත්මකභාවය පහළ යෑමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ අවදානමක්

වායු ගුණාත්මකභාවය පහළ යෑමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ අවදානමක්