ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට කලාපීය රටවල් එක්විය යුතුයි - ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්
ඉන්දියන් සාගර කලාපයේ පවතින පොදු සහ නව ආරක්ෂක අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා කලාපීය රටවල් අතර සංවාදය, අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සාමූහික ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කර තිබෙනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ මාලදිවයිනේ මාලේ නුවරදී ඊයේ (25) පැවති කොළඹ ආරක්ෂක සමුළුවේ (Colombo Security Conclave - CSC) 8 වැනි ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ රැස්වීමට සහභාගී වෙමින්.
එහිදී කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු වී තිබෙනවා.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන 'රටම එකට' ජාතික මෙහෙයුම පිළිබඳව කරුණු පැහැදිලි කළ ඒ මහතා, මත්ද්‍රව්‍ය සැපයුම් ජාල අඩපණ කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර ද එහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ ධීවර කටයුතු (IUU Fishing) මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ නිරීක්ෂණ සහ තොරතුරු හුවමාරු ක්‍රමවේද පුළුල් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කර තිබෙනවා.
මීට අමතරව මුහුද යට පිහිටි සන්නිවේදන කේබල් පද්ධති ආරක්ෂා කිරීම සඳහා කලාපීය ප්‍රතිචාර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇති බව සඳහන්.
මෑතකදී ඇති වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් ලැබූ අත්දැකීම් ද සිහිපත් කළ ආරක්ෂක ලේකම්වරයා, ස්වාභාවික ආපදා සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම, හදිසි ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.
තවද සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඬලීම මෙන්ම සයිබර් ආරක්ෂාව යන ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම ද ඔහු යළිත් තහවුරු කර තිබෙනවා.
සාමකාමී, ආරක්ෂිත සහ සෞභාග්‍යමත් ඉන්දියන් සාගර කලාපයක් ගොඩනැගීම සඳහා සාමාජික රටවල් සිය සාමූහික වගකීම ඉටු කළ යුතු බව පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා, මෙම රැස්වීමට සත්කාරකත්වය ලබාදුන් මාලදිවයින් රජයට සිය ස්තූතිය ද පළ කර තිබෙනවා.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික බුද්ධි ප්‍රධානියා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ සාර්ක් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් වරුණි මුතුකුමාරණ මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චින්තක අබේකෝන් මහතා ද සහභාගී වී තිබෙනවා.