"සරණාගතයින්ට මව්බිමට එන්න පාර කියන නිල මඟපෙන්වීමක් ඕනෑ" - ශානක්‍යන්ගෙන් රජයට බලපෑමක්
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සම්පූර්ණ කළ යුතු ක්‍රියාපටිපාටි පැහැදිලි කරමින් විස්තීර්ණ මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර බෙදාහරින ලෙස මන්ත්‍රී ශානික්කියන් රාමානික්කම් මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
එම මාර්ගෝපදේශය තුළ ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කරගන්නා ආකාරය, ඉදිරිපත් කළ යුතු ලේඛන, ආරක්ෂක නිශ්කාශන ලබාගැනීමේ ක්‍රමවේදය සහ සම්බන්ධ කරගත යුතු රාජ්‍ය ආයතන පිළිබඳ පැහැදිලි තොරතුරු ඇතුළත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම ක්‍රියාවලියේ එක් එක් අදියර සඳහා ගතවන කාලය, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි සහ නැවත පදිංචි වීම සඳහා ලබාගත හැකි ආධාර පිළිබඳවද මාර්ගෝපදේශය මගින් පැහැදිලි කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත රටට පැමිණීමට පවතින බාධා ඉවත් කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් පුද්ගලයන් මුහුණ දෙන නීතිමය බාධා ඉවත් කිරීමට සහ අවශ්‍ය නව ක්‍රියාපටිපාටි සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි.
ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන් තම අනන්‍යතාව තහවුරු කරගැනීම සහ අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන ලබාගැනීම ඇතුළු ක්‍රියාමාර්ග සම්පූර්ණ කළ යුතු බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.