අත් පා ගැටගැසූ තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි..!

By Sewvandhi Sep 19, 2023 09:45 AM GMT
Report

රත්ගම පොලීසියට ලද තොරතුරකට අනුව රත්ගම, කිරිමැටිය ආදාහනාගාරය පිටුපස කලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

මියගිය පුද්ගලයාගේ අත් පා ගැට ගසා තිබු අතර සිරුරේ ස්ථාන කිහිපයක තුවාල දක්නට ඇති බවයි පොලීසිය පැවසුවේ.   මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වෙන බවද පොලීසිය පැවසීය.

පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත්තේ, අදාළ පුද්ගලයා ඉකුත් 17 වනදා සවස පැණිවත්ත කටුදම්පේ ප්‍රදේශයේ පිහිටි අවන්හලක මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට ඇති බවටයි.

එම සාදය අතරතුරදී ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවටත් වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව ඊයේ (18) සවස් කාලයේදී ඔහුගේ සිරුර මෙලෙස හමුවී තිබේ. රත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.