ප්‍රාර්ථනා කරපු අරමුණක් දියවී යෑම ගැන අපිට අඬන්න තරම් දුක හිතෙනවා
අරමුණ කොතෙක් යහපත් වුවත් වැරදි තීරණයක් ගතහොත් එය ඛේදවාචකයකින් අවසන් විය හැකි බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
අද (26) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කර සිටියේ, ගොවිතැන සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය ද එවැන්නක් බවය. "මුලින්ම කියන්න ට ඕනේ වස විසෙන් තොර ගොවිතැන සඳහා අපි දැවැන්ත අරගලයක්, මතවාදී අරගලයක් සමාජයේ කළා.
නමුත් අපි කිසිවෙක් එකවරටම කැබිනට් පත්‍රිකාවක් දාලා පැය 24න් කාබනික ගොවිතැන කරන්න පුළුවන් කියලා අපි කවුරුත් යෝජනා කළේ නෑ.
ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාව දාන තුරු මේ සම්බන්ධයෙන් අපට කිසිම දැනුමක්, අවබෝධයක් තිබුණේ නෑ ආණ්ඩුව විසින් මේ වැඩපිළිවෙල කිරීම සඳහා 45දෙනෙකුගේ කමිටුවක් පත්කළා. බැසිල් රාජපක්ෂ මහතාගේ මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්.
මම අහන්න කැමතියි මහින්දානන්ද ඇමතිතුමාගෙන් ඔබතුමන්ලාගේ කමිටුව එක දවසක් හරි රැස්වුණා ද? දෙවනුව ඔබතුමන්ලා 22 ගෙන් යුත් කමිටුවක් පත්කළා භාගයක් හලලා. ඒ කමිටුව එක දවසක්වත් රැස්වුණා ද? ඒ එක කමිටුවකටවත් මගේ නමවත් යෝජනා කරලා තිබුණේ නෑ.
මේ වගේ බරපතළ තීරණයක් ගන්නකොට විශේෂඥයින්ගේ කමිටුවක් පත්කළ යුතුයි. මම අහන්න කැමතියි වල් මර්දනය, පොහොර නිෂ්පාදනය පිළිබඳ මහින්දානන්ද ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ හෝ ජනාධිපතිතුමා යටතේ හෝ එවැනි විශේෂඥයින් 20 - 30ක කමිටුවක් පත්කරලා තියෙනවා ද?
පොහොර නිෂ්පාදනය කරන අය ගෙන්නලා රැස්වීම් තියෙන එක ඒ අය පර්යේෂකයෝ නෙමෙයි. ඒ අය බිස්නස් එකක් කරන්නේ. ඒ නිසා මේ වගේ උදාර අරමුණක් අපි දිවිහිමියෙන් ප්‍රාර්ථනා කරපු අරමුණක් දියවී යෑම ගැන අපි කනගාටු වෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් අපිට අඬන්න තරම් දුක හිතෙනවා
. ඊළඟට මම කියන්න ඕනේ මේ රාජ්‍ය නිලධාරින් කරන දේ. මේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, මොහුට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු දාන්න ඕනේ. ඔබතුමන්ලා නඩු දාන්නේ නැත්නම් අපි මහජනයා විදියට දැවැන්ත අරගලයක් කරනවා."