"ලයිට් කපන එක නතර කරලා බිල වැඩි කරද්දී මට දැනුණු බය..." - මහින්ද අමරවීර එදා කැබිනට් රහස් එළියට දමයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමට පැහැදිලි දැක්මක් තිබූ නායකයෙකු බවත්, ආර්ථික අර්බුදය පැවති අවස්ථාවේ ඔහු ගත් තීන්දු හේතුවෙන් තමන් ඇතුළු පිරිසකට දැඩි භීතියක් ද ඇති වූ බවත් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එවක පැවති තත්ත්වය හේතුවෙන් තම නිවසද ගිනි තබනු ඇතැයි බියක් ඇතිව, රාත්‍රි කාලයේ නින්ද නොයන තත්ත්වයක් ද ඇති වූ බව ඔහු සඳහන් කළේය.
දිනකට පැය 12ක් දක්වා සිදු වූ විදුලි කප්පාදුව නවතා පැය 24 පුරා විදුලිය ලබාදීම සහ ඒ සමඟ විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණයට තමන් විරුද්ධ වූ බවද ඔහු පැවසීය.
එම තීරණය සංචාරක කර්මාන්තය සහ ආයෝජන ගලා ඒම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට ගත් එකක් බව හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කළ බවද ඔහු අනාවරණය කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ඩොලරය රුපියල් 292 දක්වා ගෙන ආ බවත්, එය තවදුරටත් රු. 250 දක්වා පහළ දැමීම ඔහුගේ ඉලක්කය වූ බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එම කාලසීමාවේ අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 300ක පමණ මුදලක් භාණ්ඩාගාරයේ ඉතිරිව තිබූ බවද ඔහු කියා සිටියේය.
එම මුදල් භාවිත කර ජනතාවට සහන ලබා දී ජනාධිපතිවරණයට යාමට යෝජනා වූ බවත්, එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා රුපියල ශක්තිමත් කිරීම සහ බැංකු පොළී අනුපාත අඩු කිරීම සඳහා ආර්ථික ස්ථාවරතාවට මුල් තැන දුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.