ඇඳිරි නීතිය සම්බන්ධව අලුත්ම දැනුම්දීම මෙන්න.

By Aruna Apr 21, 2022 12:38 AM GMT
Aruna

Aruna

Report

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද අලුයම 5 සිට ඉවත් කර තිබෙනවා.

එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවූයේ රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ පැවති මහජන උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා කිරීමේදී ඇතිවූ සිද්ධියෙන් පසුවයි.

උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඉන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණා.

විරෝධතාව අතරතුර හටගත් උණුසුම් තත්ත්වයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ඇතුළු 27 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ සමස්ත සංඛ්‍යාව 32ක්.

මේ අතර රඹුක්කන සිද්ධිය විමර්ශනයට පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පැය 15කට අධික කාලයක් විරෝධතාවයේ නිරතවූ පිරිස විසුරුවා හැරීමට පොලිසිය පෙරේදා පස්වරුවේ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී නොසන්සුන් වූ පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක්ද එල්ල කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ත්‍රිරෝද රථයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇති බවත්, ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කළා.

සිද්ධියෙන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගියා.

සිද්ධියෙන් මියගියේ කුරුවිටගේ දොන් චාමින්ද ලක්ෂාන් නැමැති 42 හැවිරිදි අයෙක්.

ඔහුගේ දේහය කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now