උසස් පෙළ කාලයේ විදුලි කප්පාදුව ගැන PUSL නඩුවට ලැබුණු නියෝගය
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.
මේ අතර, උසස් පෙළ සමයේ විදුලි කප්පාදු නොකරන්නැයි කළ විධානයක් උල්ලංඝනය කිරීමෙන් සිය කොමිසමට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ලත් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබුණා.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම අද සලකා බැපුනේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී වන අතර අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දුවී තිබුණද විදුලි කප්පාදුව සිදුවීම නිසා අදාළ විභාගය සඳහා මුහුණදෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව ඔවුන්ගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබෙන බව මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වුණා.
මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා අනුමැතිය පළකර නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ. මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා. උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හිතුවක්කාර ආකාරයෙන් තීරණ ගනිමින් ගොනුකළ මෙම නඩුකරය වෙනුවෙන් වැය කළ මුදල් මහජන උපයෝගීතා කොමිසමේ මුදල්වලින් ගෙවිය යුතු නැති බවයි එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වූයේ.
ඒ පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා මෙම නඩු තීන්දුව රජයේ විගණකාධිපතිවරයා වෙත යොමුකරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.