බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියා මැරුණු හේතුව මර්ණ පරීක්‍ෂණයෙන් එළියට - ඥාතීන්ගෙන් බරපතළ චෝදනාවක්
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඉකුත් දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර මියගිය රැඳවියකුගේ මරණය, බන්ධනාගාර නිලධාරීන්ගේ අමානුෂික පහරදීමක් නිසා සිදුවූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණය ඔස්සේ අනාවරණය වී ඇති බව ඔහුගේ ඥාතීන් චෝදනා කරයි.
එසේ මියගොස් ඇත්තේ හෝමාගම, කටුවාන ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි මොහොමඩ් අස්මාන් ගෙරල්ඩින් නැමැති පුද්ගලයෙක් බව සඳහන්.
ඉකුත් 06 වැනිදා බන්ධනාගාරයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම රැඳවියා මියගොස් තිබුණා.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඉකුත් 08 වැනි දින පවත්වා ඇත.
ඉන්පසු දේහය මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවස වෙත රැගෙන ආ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥාතීන් අවධාරණය කර තිබුණේ තම ඥාතියා මියගියේ බන්ධනාගාරය තුළදී එල්ල වූ අමානුෂික පහරදීම් හේතුවෙන් බවයි.