අඩි 300ක් පහළට ඇදවැටුණු එයාර් ඉන්දියා යානයේ කපිතාන් මත්ද්‍රව්‍ය පරීක්ෂණයෙන් මාට්ටු

Report

ෆුකෙට්–දිල්ලි ගුවන් යානයේ නියමුවා මත්ද්‍රව්‍ය පරීක්ෂණයකින් ධනාත්මක බවට වාර්තා අගෝස්තු 4 වන දින ෆුකෙට් සිට දිල්ලි බලා පියාසර කළ එයාර් ඉන්දියා ගුවන් යානයක් දැඩි කැළඹිලි තත්ත්වයකට ලක්වීමෙන් පසු සිදුකළ මත්ද්‍රව්‍ය පරීක්ෂණයකදී එහි කපිතාන්වරයා ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ඇති බව වාර්තා වේ.

තිස් ගණන්වල පසුවන නියමුවා මේ වනවිට තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති බව සඳහන් වන අතර, එම පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳව එයාර් ඉන්දියා වෙත දැනුම් දී නොමැති බව ගුවන් සමාගම ප්‍රකාශ කර තිබේ.

මූලාශ්‍ර සඳහන් කළේ, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) උපදෙස් මත දිල්ලි ගුවන් තොටුපළේදී ගුවන් නියමුවන් මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය සඳහා පරීක්ෂාවට ලක් කළ බවයි. ගුවන් අනතුරු සම්බන්ධයෙන් මෙවැනි පරීක්ෂණ නියම කිරීමට AAIB වෙත බලය පවතී.

සිඩ්නි ගුවන් තොටුපළෙන් දැවැන්ත අනතුරක් වළකී -ජෙට්ස්ටාර් සහ කටාර් යානා දෙකක් අනූනවයෙන් බේරෙයි

සිඩ්නි ගුවන් තොටුපළෙන් දැවැන්ත අනතුරක් වළකී -ජෙට්ස්ටාර් සහ කටාර් යානා දෙකක් අනූනවයෙන් බේරෙයි

අදාළ ගුවන් යානය අඩි 300ක් පමණ පහළට ඇද වැටීමට හේතු වූ කැළඹිලි තත්ත්වය සම්බන්ධ සිද්ධිය අනතුරක් ලෙස සලකනු ලැබේ. එම සිදුවීමෙන් කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. සිද්ධියේ අනුපිළිවෙළ පැහැදිලි කරමින් මූලාශ්‍රයක් සඳහන් කළේ, ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු නියමුවන්ට හුස්ම පරීක්ෂණ සිදුකළ අතර එහි ප්‍රතිඵල ඍණාත්මක වූ බවයි.

ඊට අමතරව රුධිර හා මුත්‍රා සාම්පල ද ලබාගෙන තිබේ. කෙසේ වෙතත්, මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණයකදී ධනාත්මක ප්‍රතිඵලයක් ලැබීමෙන් පසු තවත් තහවුරු කිරීමේ පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ප්‍රතිඵල තහවුරු කිරීම සඳහා සාම්පල සහතික කළ රසායනාගාරයකට යවා ඇති බව වාර්තා වේ.

හිසකෙස් සාම්පල ද ලබාගෙන ඇති බව මූලාශ්‍ර සඳහන් කරයි. එයාර් ඉන්දියා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ ප්‍රොටෝකෝලවලට අනුකූලව ගුවන් නියමුවන් සඳහා පශ්චාත් ගුවන් ගමන් මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් සිදුකර ඇති බව තමන් දන්නා නමුත්, එහි ප්‍රතිඵල එයාර් ඉන්දියා සමඟ බෙදාගෙන නොමැති බැවින් එම පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි. කිසියම් නිශ්චිත ගුවන් ගමනක් හෝ මෙහෙයුම් සිදුවීමක් නොසලකා, සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට අනුකූලව එයාර් ඉන්දියා කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා නිතිපතා මත්ද්‍රව්‍ය පරීක්ෂණ සිදුකරන බවද ගුවන් සමාගම සඳහන් කළේය.

අවශ්‍ය පරිදි අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවද එය ප්‍රකාශ කළේය. මේ අතර, ඉන්දියානු ගුවන් නියමුවන්ගේ සම්මේලනයේ සභාපති කපිතාන් සී. එස්. රන්ධාවා පැවසුවේ ඇතැම් මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය ශරීරයේ මාස තුනක් දක්වාත්, ඇතැම් අවස්ථාවල මාස හයක් දක්වාත් හඳුනාගත හැකි බවයි.

කෙසේ වෙතත්, නියමුවාගේ ශරීරයේ හඳුනාගෙන ඇති නිශ්චිත ද්‍රව්‍යය කුමක්ද යන්න පළමුව තහවුරු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ඇතැම් අවස්ථාවල ගුවන් සේවා කාර්ය මණ්ඩලය ස්වයං-ඖෂධ භාවිතයට යොමුවන අතර, වේදනා නාශක ඖෂධවල අඩංගු මෝෆීන් වැනි ද්‍රව්‍ය හේතුවෙන්ද මත්ද්‍රව්‍ය පරීක්ෂණයකදී ධනාත්මක ප්‍රතිඵලයක් ලැබිය හැකි බව ඔහු පැවසීය.

ඉන්දියාවේ මෙවැනි සිදුවීම් සම්බන්ධ දඬුවම් ඇතැම් රටවලට සාපේක්ෂව ලිහිල් බවද රන්ධාවා පෙන්වා දුන්නේය.

ඔහුට අනුව, නියමුවෙකු මෙවැනි පරීක්ෂණයකදී පළමු වරට ධනාත්මක වුවහොත්, අවම වශයෙන් මාස හයක කාලයක් රාජකාරියෙන් ඉවත් කර පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළ හැකිය. එහෙත් ඇතැම් රටවල, විශේෂයෙන් ගල්ෆ් කලාපයේ, නියමුවෙකු සේවයෙන් ඉවත් කිරීම සහ ඔහුගේ ගුවන් නියමු බලපත්‍රය අවලංගු කිරීම ද සිදුවිය හැකි බව ඔහු පැවසීය.

සෑම ගුවන් ගමනක් සඳහාම හුස්ම පරීක්ෂණ සිදුකළද, මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා සාමාන්‍යයෙන් සීමිත නියමුවන් පිරිසක් පමණක් යොමු කරන බව හෝ අනතුරක් සිදුවීමෙන් පසු එවැනි පරීක්ෂණ සිදුකරන බවද රන්ධාවා සඳහන් කළේය.

මෙම විශේෂිත අවස්ථාවේදී නියමුවා මාස තුනකට පෙර පවා කොකේන් හෝ මරිජුවානා භාවිත කර ඇති බව තහවුරු වුවහොත් එය බරපතළ කරුණක්.එය එම කාලය තුළ ඔහු මෙහෙයවූ සියලුම ගුවන් ගමන් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරයි,

යනුවෙන් ඔහු පැවසීය. කෙසේ වෙතත්, ඉන්දියානු ගුවන් නියමු සංගමයේ සභාපති කපිතාන් සෑම් තෝමස් පැවසුවේ,

තහවුරු කිරීමේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර නියමුවා සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීම වැරදි බවයි. බොහෝ තරුණයින් ශරීර වර්ධනය සඳහා විවිධ ආහාර අතිරේක භාවිත කරන අතර, ඇතැම් ඒවායේ තහනම් ද්‍රව්‍ය අඩංගු විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන්ද පරීක්ෂණ ප්‍රතිඵල වෙනස් විය හැකි බැවින්, නියමුවාගේ ශරීරයේ හඳුනාගෙන ඇති නිශ්චිත ද්‍රව්‍යය පළමුව තහවුරු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ස්වයං-ඖෂධ භාවිතය ඉන්දියාවේ ප්‍රධාන ගැටලුවක් බවද කපිතාන් සෑම් තෝමස් වැඩිදුරටත් පැවසීය.