දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් උපදෙස්
සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිසාපතිවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(27) පැවැතිවූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
රුපියල් බිලියන 1,400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%ක් - 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව පැහැදිළි කළේය.
රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවත්, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ඊට හේතුවී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
2025 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ වැටුප් හා අතිකාල දීමනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් හඳුනාගෙන කාණ්ඩ වශයෙන් එම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවයේ මැද ස්ථරය එමඟින් සම්පූර්ණ වන බවත් ජනාධිපතිවරයා පැවසීය.
සංවර්ධනය යනු ගොඩනැඟිලි, පාලම් ඉදිකිරීම පමණක් නොවන බවත්, කඩාවැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළ අතර එහි ප්‍රධාන කාර්යභාරයක් දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව පවතින බවද කියා සිටියේය.
