ජාත්‍යන්තර කම්කරු දිනය අදයි[VIDEO]
රටම දන්නා පරිදි අද ජාත්‍යන්තර කම්කරු දිනයයි.
නමුත් එහි සැබෑ අරුත දන්නේ කිහිප දෙනෙක් පමණයි.
ඒ අතර රට පුරාම පැවැත්වෙන මැයි රැලි ,පෙළපාලි කම්කරුවන්ගේ ඇස් වසන තවත් එක් දේශපාලන ඇස්බැන්ඳුමක් බව වැටහීමත් දුකකි.
මේ සියල්ල ඇරඹුණේ 1886 වසරේ ඇමෙරිකාවේ නිව්යෝක් හි සිට සැන් ප්‍රැන්සිස්කෝ දක්වා විහිදුණු වැඩවර්ජන හා පෙළපාලිවලින් යුත් අරගලයකිනි.
ඔවුන්ගේ ඉල්ලීම් අතර ප්‍රධාන වූයේ පැය අටකට සීමා වූ සේවා කාලයකි. මැයි 1 දින චිකාගෝ නගරයට හතළිස් දහසක පමණ වැඩ වර්ජිත කම්කරුවන් පිරිසක් වීදි බැස සාමකාමී පෙළපාලියක් පැවැත්වූහ.
මේ පෙළපාලිය මැයි 2 හා 3 යන දිනයන්හී දීත් පැවතුනි.
කම්කරුවන්ගේ වැඩ වර්ජනය කඩා කප්පල් කර දැමීමට හාම්පුතුන් ද නොයෙක් උත්සහ දැරූහ.
එහි ප්‍රතිඵලයක් ලෙස මැයි 3 වන දින පොලීසිය ඊට වෙඩි තැබීම නිසා හය දෙනෙකු මියගොස් පනස් දෙනෙකු තුවාල ලැබූහ.
එදා පෙළපාලියේ ගෙන ගිය සුදුපාට කොඩි සියල්ල කම්කරුවන් හෙළුෑ ලෙයින් රතු පැහැ ගෙන තිබිණි.
මේ නිසා එතැන් පටන් කම්කරුවන්ගේ පාට ලෙස රතුපාට තෝරාගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ 1933 වසරේ දී මෙම මැයි දිනය පැවැත්වීම ආරම්භ විය. එම මැයි රැලිය එවකට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඊ. ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස් පාක් හීදි පවත්වා ඇත.
ඉන්පසු 1934 වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවන මැයි දිනය මාක්ස්වාදී සංගමය පැවැත් වීය.
එය ප්‍රථම වමට සම්බන්ධ සමාජවාදී මතවාදය පළ කරන මැයි දින සැමරීම විය. දොස්තර සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මැයි රැලියේ ප්‍රධාන කථිකයා වූයේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වූ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයි.
ඊටත් වඩා ප්‍රබල මැයි දිනයක් 1935 වසරේ දී පැවැතුනි.
එතැන් පටන් දිගටම ලංකා සම සමාජ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් යන වමේ දේශපාලන පක්‍ෂවල මූලිකත්වයෙන් මැයි රැලි හා පෙළපාලි පවත්වා ඇත.
කම්කරු පන්තියට ඇහුම්කන් දෙන නායකයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1956 සිදුවූ පෙරළියත් සමග අගමැති තනතුරට පත්විය.
ඉන්පසුව පැය අටේ සේවය නීතිගත වීම, විශ්‍රාම වැටුප් අයිතිය හිමි වීම, පුද්ගලික අංශයේ සේවකයන්ට අර්ථසාධක අරමුදල් අයිතිය ලබා ගැනීම සඳහා පීටර් කෙනමන් මහතා හා එම්. ජී. මෙන්ඩිස් මහතා කළ සේවය සහ ටී. බී. ඉලංගරත්න මහතා කම්කරු ඇමැති ලෙස අර්ථ සාධක අරමුදල් අයිතිය පෞද්ගලික අංශයට ලබාදීමට ගත් තීරණය ද කම්කරුවන්ට බොහෝ වැදගත් ය.
එසේම 1956 දී අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේ කම්කරුවන් වෙනුවෙනි. එවන් පසුබිමක අද කම්කරු දිනය කම්කරු අවශ්‍යතා මත නොපවතින බවක් දක්නට ලැබේ.
විවිධ දේශපාලන පක්‍ෂවල පටු අරමුණු සඳහා මෙම මැයි දිනය යොදා ගැනීම දැක ගත හැක.
කම්කරු ඉල්ලීම්වලට සහ අරමුණුවලට පටහැනිව රැලිවලට උස්සන් යන පාට කොඩි බොහෝමයක ඇත්තේ පක්ෂ පාටයි. පෙළපාලියේ දොඩන්නේත් පක්ෂයේ අරමුණුය.
රටේ නන් දෙසින් රැස් කරගත් මහා ජනකාය සමඟ පවත්වන සෑම මැයි රැලියකම ගෞරවය හිමි විය යුත්තේ එදා දිවි පුදා අයිතීන් රැකදුන් කම්කරුවන්ටයි. අද අප පැය අටේ වැඩ දිනය භුක්ති විඳින බව සැබෑය.
නමුත් ඒ වෙනුවෙන් ඔවුන් කළ කැපවීම අතිමහත් ය.
මේ සියලු රැලි ඊට උපහාර පිණිසය. අරමුණ එකය.
එහෙත් රැලිවල තේමා විවිධ වූයේ කෙසේද? "රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැලිය" ,"රට දිනුමට කම්කරු බලය", "රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු" "කම්කරුවා ව්‍යවසායකත්වය කරා" යන්න ඉන් කිහිපයක් පමණි.
උගුර ලේ රස වෙනකල් කෑගසන බොහෝ අය කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳවවත් දැනුවත්ද යන්න ප්‍රශ්නයකි. මන්ද ඇතමෙක් මෙය එළඹෙන මැතිවරණයට ආයෝජනයක් ලෙස දකින බැවිනි.
බස් රථ පුරෝ ගෙන ගමේ සිට නගරයට හෙට යන බස් බොහෝය, මාර්ග බාධක මෙන්ම වැසුණු මාර්ගද ඒ අතර විය හැක. මේ සියල්ලටම පෙර මැයි පළවෙනිදා රජයේ නිවාඩු දිනයක් බව අමතක කළ යුතු නැත.
නමුත් විහිළුවට හේතුව නම් කා උදෙසා මේ දිනය වෙන් කළේද ඔවුන්ට මෙය තවත් නිවාඩු දිනයක් පමණි. 365 දවසෙම වෙහෙසෙන ශරීරයට විවේකයක් ලැබෙන්නේ එහෙමත් දිනකිනි. ඉන්පසු හෙට සිට සුපුරුදු රාජකාරීයේ යෙදෙනු ඇත.
ඇතැම් විට සැමරූ මැයි රැලි පැවැත් වූ තැනක් නැවත සුද්ධ පවිත්‍ර කළ යුත්තේද කම්කරුවෙකි. එවැනි පසුබිමක ජාත්‍යන්තර කම්කරු දිනයක් සැමරීම තරමක් ගැටලුකාරී වේ.
කම්කරු දිනය යනු අතීත අරගල සිහිපත් කිරීම පමණක්ම නොවේ.
එය කම්කරුවන්ගේ පොරොන්දුව අලුත් කිරීම පිළිබඳවයි.
සියලු ආකාරයේ වැඩවලට ගරු කිරීම, අසමානතාවයට එරෙහිව සටන් කිරීම සහ වෙහෙස මහන්සි වී වැඩ කරන කිසිවකු කිසිම විටෙක නොසලකා හැරීමෙන් වැළකීම සහතික කිරීම සම්බන්ධවයි.
එදා අයිතීන් දිනා ගැනීමට සටන් කළ බොහෝ කම්කරුවන් වර්තමානයේ සටන් කරන්නේ දිනාගත් අයිතීන් භුක්ති විඳීමටයි.
වැඩ කරන පැය ගණන අටකට සීමා වුවත් ඒ කාලය තුළ කරන කාර්‍යයට ලබන වැටුප ප්‍රමාණවත්ද යන්න අද බොහෝ දෙනාට ඇති ගැටලුවකි.
මැයි පළවෙනිදාට පවත්වන රැලිය හෝ පෙළපාලිය සංවිධානය කිරීමට දේශපාලන පක්ෂවලට ඇති තරඟය, රටේ ජනතාවගේ සුබ සෙත උදෙසාත් පැවතුනේ නම් කම්කරුවන්ගේ තත්ත්වයත් මීට වඩා යහපත් වන්නට තිබුණි.
අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කළ යුතු වුවත් මූලික අයිතිවාසිකම් පවා නොලැබීම ඛේදවාචකයකි.
එබැවින් කම්කරුවන් දිනා ගත් අයිතීන් සිහිපත් කරන අද වැනි දිනකත්, එහි තේරුම පවා නොදැන ජන හමුවක මෙන් පක්ෂ දේශපාලනය කිරීම කම්කරුවන්ටත් කරන නිගාවකි.
