ජනපතිගෙන් නියෝග මත කොළඹ ගංවතුර පාලනයට සහ බේරේ වැව ලස්සන කරන්න හදිසි සැලසුම්
කැළණි ගඟේ ගංවතුර පාලන ව්‍යාපෘතිය, කොළඹ නගරයේ ජල කළමනාකරණ වැඩසටහන්, බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීම සහ රත්මලාන - මොරටුව ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ.
මෙම කරුණු අවධාරණය වී ඇත්තේ ජනාධිපතිවරයා සහ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ, ව්‍යාපෘති සාර්ථකව හා තිරසාරව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ කළමනාකරණ ආකෘතියක් අනුගමනය කිරීම අවශ්‍ය බවයි.
මේ අතර, නව නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වත්මන් මූල්‍ය වර්ෂය තුළ සම්පූර්ණයෙන්ම භාවිතා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ දිගුකාලීන නඩත්තුව සම්බන්ධයෙන් අදාළ ආයතනවල වගකීම් පැහැදිලිව නියම කර, සම්බන්ධීකරණය යටතේ කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
කැළණි ගඟ ආශ්රිත ගංවතුර අවම කිරීම, නාගරික ජල කළමනාකරණය සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුව තිබේ. මෙම සාකච්ඡාව සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල පෙරේරා මහතා, UDA සභාපති එම්.ජී. හේමචන්ද්‍ර මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.