පොදු ස්ථානවල මුහුණු ආවරණ තහනම් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වෙයි
පෘතුගාලයේ පාර්ලිමේන්තුව විසින් පොදු ස්ථානවලදී "ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගමික අභිප්‍රායන්" සඳහා භාවිතා වන මුහුණු ආවරණ තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් අනුමත කර ඇත.
මෙම පනත ඍජුවම මුස්ලිම් කාන්තාවන් විසින් පැළඳෙන බුර්කා සහ නිකාබ් වැනි සම්පූර්ණ මුහුණු ආවරණ ඉලක්ක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නව පනත යටතේ, පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම සඳහා යෝජිත දඩ මුදල අමෙරිකානු ඩොලර් 234 - 4,671ත් අතර පරාසයක පවතිනවා. පනට අනුව යමෙකුට මුහුණු ආවරණයක් පැළඳීමට බල කිරීම වසර තුනක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක්.
කෙසේ වෙතත්, ගුවන් යානා, රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයන් සහ ආගමික ස්ථානවල මුහුණු ආවරණ තවමත් පැළඳීමට අවසර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත යෝජනා කර ඇත්තේ අන්ත දක්ෂිණාංශික චේගා පක්ෂය විසිනි. එය මධ්‍ය-දක්ෂිණාංශික සන්ධානයේ (Democratic Alliance) සහාය ඇතිව පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ වාමාංශික පක්ෂවල කාන්තා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණි.
මෙම පනත නීතියක් බවට පත්වුවහොත්, පෘතුගාලය ප්‍රංශය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, නෙදර්ලන්තය ඇතුළු යුරෝපීය රටවල් සමඟ එක්වනු ඇත, එම රටවල් දැනටමත් මුහුණු ආවරණවලට සම්පූර්ණ හෝ අර්ධ තහනම් පනවා ඇත. යුරෝපයේ මුස්ලිම් කාන්තාවන්ගෙන් කුඩා සුළුතරයක් (සමස්ත ජනගහනයෙන් 0.1%ටත් අඩු) පමණක් බුර්කා හෝ නිකාබ් පැළඳීමේ සිරිතක් ඇති අතර, පෘතුගාලයේ එය අතිශයින් දුර්ලභ ය.