හදිසි බෝම්බ බියකින් දේවස්ථාන 203කට දැඩි ආරක්ෂාවක් යොදවයි..
මහනුවර අකුරණ හයේ කණුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්ණාමික තොරතුර මත පදනම්ව මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන දෙසීය තුනකටම විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද මෙම ආරක්ෂාවන් යොදවා තිබෙන බවත් සියලු දේවස්ථාන කේන්ද්‍රගතව විශේෂ පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක පැවැසීය.
රාමසාන් දින දේව වන්දනය අතරතුර මහනුවර අකුරණ පිහිටි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත නිර්ණාමික තොරතුරක් ලැබී තිබිණි.
මෙම තොරතුරු ආරක්ෂක අංශ වෙත යොමුකිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය.
මේ අනුව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක ඇතුළු නිලධාරීන් අලවතුගොඩ පොලිසිය සමගින් අකුරණ ප්‍රදේශයේ ප්‍රධානම මුස්ලිම් දේවස්ථානයට ගොස් දේවස්ථාන පරිපාලන මඩුල්ල සමගින් සාකච්ඡා කර තිබිණි.
විශේෂයෙන් අකුරණ ප්‍රදේශය ආගම දහමට විශාල ලැදියාවක් ඇති බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් වන හෙයින් අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඇති මුස්ලිම් දේවස්ථාන 72 හිම පාලනාධිකාරී වෙත ඒ ඒ දේවස්ථාන වෙත පැමිණෙන නන්නාදුනන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි පොලිසිය මෙහිදී උපදෙස් දෙනු ලැබීය.
එසේම එම දේවස්ථාන සියල්ලටම විශේෂ ආරක්ෂාවක් සලසන බවත් මාර්ගයේ අණ නොතකා ධාවනය කරන වාහනවලට වෙඩි තැබීමේ නියෝග ද ලබා දී ඇති බවත් මෙහිදී පොලිසිය සඳහන් කර ඇති අතර මහජන ආරක්ෂාව සැලසීමේ අරමුණින් රාමසාන් දින දේව වන්දනයට එන කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශ්වයම පුළුල් සෝදිසි කිරීමක් සහිතව දේවස්ථාන වෙත ඇතුළු කරගන්නා බවද අවධාරණය කර ඇත.
පුද්ගල අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා බුර්කා පලඳින කාන්තාවන්ද විශේෂ සෝදිසියකට ලක්කරන බවත් සියලු දෙනාම හැඳුනුම්පත් ගෙන ඒමද අනිවාර්ය බවත් පොලිසිය දැනුම් දී ඇත.
මෙහිදී අකුරණ ප්‍රධානම මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධානී නීතිඥ අස්මි ෆාරුක් පවසා ඇත්තේ පොලිසියට අවශ්‍ය සහාය නොමදව ප්‍රදේශයේ මුස්ලිම් සමාජයෙන් හිමිවන බවය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජමියතුල් උලමා සංවිධානයද ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් වෙත අවධාරණය කර ඇත්තේ සමස්ත මුස්ලිම් දේවස්ථාන සඳහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරන ලෙසය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූවගෙන් කළ විමසීකදී කියා සිටියේ මේ තොරතුර තහවුරු කර ගැනීම පිණිස අදාළ ප්‍රදේශයේ පුළුල් මෙහෙයුමක් දියත් කර තිබෙන බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |