රිය අනතුරු සහ කෝවිඩ් වලකන පොලිස් මෙහෙයුම අද සිට

Police
By Thaya Apr 10, 2021 06:50 PM GMT
Thaya

Thaya

Report

උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. මේ සඳහා නිල ඇඳුමෙන් සැරසුණු සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසා සිටියේ. විශේෂයෙන් මහජනයා බහුලව ගැවසෙන සාප්පු සංකීර්ණ අවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා කොවිඩ් මර්දන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිසා අවුරුදු සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයින් සඳහා කොවිඩ් මර්දනය සඳහා රජය විසින් පනවා ඇති සියලු විධික්‍රම භාවිත කිරීමේ පහසුකම් සපයා තබන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ. එමෙන්ම මුළු දිවයිනම ආවරණය වන පරිදි රිය අනතුරු වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් ද අද (10) දින සිට ක්‍රියාත්මක වනවා. මෙම මෙහෙයුමේ දී විශේෂයෙන්ම බීමත් රිය ධාවනය, ජංගම දුරකථනය භාවිත කරමින් රිය ධාවනය, සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය යන කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමුකර එවැනි රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති. මෙරට රිය අනතුරු කැලැන්ඩරයේ වැඩිම රිය අනතුරු සිදුවන අප්‍රේල් මාසය තුළ අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් සියලු දෙනා කටයුතු කළ යුතු බවත් එළඹෙන උත්සව සමයේ කොවිඩ් රෝගයේ වින්දිතයකු බවට පත් නොවීමට සැමදෙනාම වගබලා ගත යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.