මල්වතු මහ නායක හාමුදුරුවෝ කියලා පුද්ගලයෙක් කළ අමුතුම වංචාව - විවාහයන් රැසකුත් කරගෙන.. පොලිස් විමර්ශනවල දී හෙළි වු දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 01, 2023 03:48 PM GMT
krishani

krishani

Report

මල්වතු මහ නායක හිමියන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ නුවරඑළිය පොලීසිය විසින් ය.

දුරකථන ඇමතුම් ලබා දී ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා පිටත්කර යැවීමට හැකි බව පවසමින් සැකකරු එම මුදල් වංචාව සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු විසින් රුපියල් 137,000ක මුදලක් වංචනික ලෙස තමන්ගෙන් ලබා ගත් බව පවසා නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත නුවරඑළිය පොලීසිය සිදුකළ විමර්ශනයක දී ය.

සැකකරු විසින් ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම්වල සඳහන් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා දී තමන් මල්වතු විහාරයේ මහනායක ස්වාමින් වහන්සේ බව පවසා ඇත.

තමන්ගේ සහෝදරයා ඔස්ට්‍රේලියාවේ පදිංචි බවත් ඔහුට ඉඩමක් සහ නිවසක් මිල දී ගැනීමට අවශ්‍ය බවත් පළමුවෙන් පවසා තිබෙනවා.

පසුව ඒ හරහා එම පුද්ගලයින් සමඟ හිතවත්කම ගොඩ නගාගෙන ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා තමන්ගේ මිත්‍රයෙකු බව ද පවසා ඇත.

ඒ අනුව අවශ්‍ය නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙකු කිසිදු අය කිරීමකින් තොරව පහසුවෙන් ඔස්ට්‍රේලියාවේ ‍රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට හැකි බව පවසා තිබෙනවා.

එයට අවශ්‍ය වන්නේ ලියාපදිංචි ගාස්තු වශයෙන් පමණක් රුපියල් 130,000ක මුදලක් බවත් පවසා එම මුදල සැකකරුගේ බැංකු ගිණුමකට බැර කරගෙන ඇත.

පොලිසිය පැවසුවේ සැකකරු විසින් පුද්ගලයින්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා රාශියක් සිදුකර ඇති බවයි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අණාවරනය වී ඇත්තේ බොහෝ අවස්ථාවල දී පුද්ගලයින් රැවටීම සඳහා මෙම සැකකරු විසින්ම ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම් ලබා දී ඇති බවයි.

ඒ අනුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ මුදල් ගෙන්වා ගත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එමඟින් තවත් පුද්ගලයන් රැවටීම සඳහා සිම් පත් 100ත් 120ත් අතර ගණනක් මිල දී ගෙන ඇති බවයි.

සැකකරු සතුව තිබී ජංගම දුරකථන 11ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත්, විවිධ නම්වලින් සකසන ලද නිල මුද්‍රා තොගයක් හමු වී තිබෙනවා.

මුදල් තැන්පත්කර ගැනීම සඳහා මෙම පුද්ගලයා විසින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිත කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ගණනක් සාදා ඇත.

එමෙන්ම ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් ඔහු විවාහයන් කිහිපයක් ද සිදුකරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

සැකකරු නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ReeCha