නොදැවී ලකුණු 6ක් ගසා ක්‍රීස් එක උඩදීම 46 හැවිරිදි ක්‍රීඩකයා ජීවිතයට සමුදෙයි
බේරුවල ප්‍රදේශයේ පාසලක ආදි ශිෂ්‍ය සංගමයක් විසින් අද (06) සංවිධානය කළ ක්‍රිකට් සැණකෙළියක් අතරතුර, පන්දුවට පහර දෙමින් සිටි 46 හැවිරිදි ක්‍රීඩකයෙකු හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, පන්දුවට පහර දෙමින් සිටියදී ඔහු හදිසියේම ක්‍රීස් මත ඇද වැටී ඇති අතර, එම අවස්ථාවේ තරගය සජීවීව විකාශය වෙමින් තිබූ බව සඳහන් වේ.
සජීවී දර්ශන අනුව, සිද්ධියට පෙර ඔහු පන්දු තුනකින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියේය. අනතුරුව ඔහු වහාම රෝහල වෙත රැගෙන ගියද, වෛද්‍යවරුන් විසින් මියගොස් ඇති බව තහවුරු කර තිබේ.
මූලික තොරතුරු අනුව මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදුවී ඇති බවට සැක පළ කෙරෙන නමුත්, නිශ්චිත මරණ හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තහවුරු කිරීමට නියමිතය.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරග අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන ඇති අතර, ක්‍රීඩකයින්, නිලධාරීන් සහ ප්‍රේක්ෂකයින් සිද්ධියෙන් දැඩි කම්පනයට පත්ව සිටින බව වාර්තා වේ.