සියඹලා ඇටයකින් ආ මාරයා - අවුරුදු හතක කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් අවුරුදු හතක කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වේ.
ඒ ගලහා ප්‍රදේශයෙන්. ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලහා, නිල්ලඹ, කුරුකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි සනුදි ලක්ෂාණි නමැති 07 හැවිරිදි දියණියක් බව සඳහන්.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (02) දින සවස්වරුවේ ඇය සිය සොහොයුරියන් සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව දෙමාපියන්ට නොදැනෙන සේ කුස්සියේ තිබූ සියඹලා ටිකක් ගෙන සෙල්ලම් කරමින් සිට ඇත.
එහිදී සියඹලා ඇටයක් කෑමට යාමේදී එය උගුරේ සිරවී ඇති බව සඳහන්.
එමෙන්ම දරුවාගේ උගුරේ සියඹලා ඇටය සිරවී ඇති බව දැනගත් වහාම නිවසේ සිටි මව සහ ඥාතීන් එකතු වී ඇයව බේරාගැනීම සඳහා ලොරි රථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇතත් රෝහලට රැගෙන යන අතරතුරදීම දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගිය දැරියගේ දේහය මේ වන විට පේරාදෙණිය රෝහලේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලහා පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.