දිගු නිහැඬියාවකට පසු රටක් ආදරය කළ සබීතා-සංගීතා යළිත් රිදී තිරයට [VIDEO]
දශක ගණනාවක් පුරා ලාංකේය සිනමා තිරය සිය රංගන හැකියාවෙන් හැඩ කළ ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙපළක් වන සබීතා පෙරේරා සහ සංගීතා වීරරත්න, දිගු කාලයකට පසු නැවතත් සිනමා රංගනයට එක්ව සිටිති.
පසුගිය කාලය පුරාවටම සිනමා නිර්මාණ හරහා දැකගැනීමට නොලැබුණු ඔවුන් දෙදෙනා මේ වනවිට ‘විහඟ ප්‍රේමය’ සහ ‘ආදරණීය තරුවක්’ යන සිනමා නිර්මාණ දෙක ඔස්සේ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ.
සබීතා පෙරේරා ප්‍රධාන චරිතයකින් එක්වන ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ නවතම අධ්‍යක්ෂණයකි. පොලිස් සහ දේශපාලන සහාය මත ක්‍රියාත්මක වන කූට ළමා ජාවාරමක් වටා ගෙතී ඇති මෙම සිනමාපටය ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කරමින් ජගත් සම්මාන කිහිපයකටද පාත්‍ර වී තිබේ.
මහේන්ද්‍ර පෙරේරා, ඩිනාරා පුංචිහේවා සහ අකලංක ප්‍රභාෂ්වර ඇතුළු රංගන ශිල්පීන් රැසක්ද ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටයට එක්ව සිටිති. මේ අතර, සංගීතා වීරරත්නද කලකට පසුව ‘ආදරණීය තරුවක්’ සිනමාපටය හරහා යළිත් සිනමා රංගනයට එක්ව සිටී.
දිල්ෂාන් අමරසිංහගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන ‘ආදරණීය තරුවක්’ මේ වනවිට සිනමාහල්වල සාර්ථකව තිරගත වන අතර, මුල් දින හතර තුළ පමණක් රුපියල් ලක්ෂ 150කට අධික Box Office ආදායමක් උපයාගෙන ඇති බව සඳහන් වේ.
සංගීතා වීරරත්නට අමතරව ශනුද්‍රි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර ඇතුළු රංගන ශිල්පීන් රැසක්ද මෙම චිත්‍රපටයට දායක වී තිබේ. එකිනෙකට වෙනස් සහ නැවුම් ශානර දෙකක් ඔස්සේ නිර්මාණය වූ ‘විහඟ ප්‍රේමය’ සහ ‘ආදරණීය තරුවක්’ යන සිනමාපට ද්විත්වයටම මේ වනවිට ප්‍රේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවෙමින් පවතී.
දිගු නිහැඬියාවකට පසු සබීතා පෙරේරා සහ සංගීතා වීරරත්න යළිත් සිනමා තිරයට පැමිණීමද මෙරට සිනමා රසිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වී තිබේ. ‘විහඟ ප්‍රේමය’ සහ ‘ආදරණීය තරුවක්’ යන සිනමාපට දෙකම මේ වනවිට දිවයින පුරා සිනමාහල්වලදී නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිව තිබේ.