හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ අල්ලස් නඩුව නැවත කැඳවීමට නියෝග
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන සැප්තැම්බර් 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා යමින් රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් වන මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ නඩුව යළි විභාග කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමට තීරණය කළේය. එමෙන්ම එදිනට අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස දන්වා අදාළ සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍ය ධුරයක් හොබවමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.