හෝමාගම රෝහලේ මළ සිරුරක් භාර ගන්න ඇවිත් උණුසුම් තත්ත්වයක් - සිරුර පළමු බිරිඳට හිමි වෙන විට විශ්‍රාම වැටුප දෙවැනි බිරිඳට
වකුගඩු රෝගී තත්ත්වයක් නිසා මියගිය විශ්‍රාමික සෞඛ්‍ය කාර්ය සහායකයෙකුගේ දේහය භාරගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අතර ඇතිවූ අර්බුදකාරී තත්ත්වයක් නිරාකරණය කිරීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයාට සිදුව ඇත.
ඒ අනුව හෝමාගම මූලික රෝහලේදී සිදුවූ මෙම මරණයෙන් අනතුරුව දේහය භාරගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීමත් සමඟ ඇතිවූ උණුසුම් වචන හුවමාරුව අවසානයේ නීතිමය කරුණු සලකා බැලූ මරණ පරීක්ෂකවරයා, මියගිය පුද්ගලයාගේ දේහය ඔහුගේ පළමු විවාහක බිරිඳට භාර දීමට නියෝග කර තිබෙනවා.
මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා වෘත්තියෙන් සෞඛ්‍ය කාර්ය සහායකයෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා සිටි අයෙක් බව සඳහන්.
ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ නිවසේ සිටියදී හටගත් හදිසි රෝගී තත්ත්වයක් නිසා වන අතර, නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 30 වැනිදා ඔහු මියගොස් ඇත.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයා මීට වසර තිහකට පමණ ඉහතදී කළුතර ප්‍රදේශයේ කාන්තාවක හා විවාහ වී ඇති අතර එම විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනෙකු ද සිටියි.
එහෙත් පසුකාලීනව එම බිරිඳ සහ දරුවන් අතහැර දමා පැමිණ ඇති මොහු, මීට වසර විස්සකට පමණ පෙර වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙන බව වාර්තා වේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙවනුව විවාහ කරගත් කාන්තාවට ඇයගේ පෙර විවාහයේ දරුවන් තිදෙනෙකු සිටියද, මෙම පුද්ගලයාට දාව ඇයට දරුවන් නොමැති බවයි.
ඒ අනුව මරණයෙන් පසුව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට සූදානම් වූ විටදී අඳාළ ගැටලුව පැන නැගී ඇත.
අඳාළ පුද්ගලයා මියගිය බව ආරංචි වීමත් සමඟ රෝහලට පැමිණි පළමු බිරිඳ තමා සතුව තිබූ විවාහ සහතිකය ඉදිරිපත් කරමින් දේහය ඉල්ලා සිටි අතර, මියගිය අය සමඟ වසර විස්සකට අධික කාලයක් එකට ජීවත් වූ දෙවන කාන්තාවද තමා සතු විවාහ සහතිකය ඉදිරිපත් කරමින් දේහය සහ මරණ පරීක්ෂණ වාර්තාව භාර දෙන ලෙස ඉල්ලා ඇත.
මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම් හැබැයි මේවට ගෙනල්ලා අපේ කට වල් වහන්න බෑ - නාමල්
එහිදී දෙපාර්ශවය අතර මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූ හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා කාන්තාවන් දෙදෙනාටම කරුණු පැහැදිලි කර දී ඇති අතර ඔහු පෙන්වා දී ඇත්තේ පළමු විවාහයෙන් නීත්‍යානුකූලව දික්කසාද නොවී සිදුකර ගන්නා ලද දෙවන විවාහයක් නීතිය ඉදිරියේ වලංගු නොවන බවයි.
එබැවින් මියගිය පුද්ගලයා දෙවන කාන්තාව සමඟ කොපමණ කාලයක් විවාහ වී වාසය කළද, නීත්‍යානුකූල අයිතිය හිමිවන්නේ පළමු බිරිඳට බවට තීරණය වී ඇත.
එමෙන්ම හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දමිත් අත්තනායක මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී සහ ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව, දීර්ඝ කාලයක් පුරා පැවති වකුගඩු අකර්මණ්‍ය වීමෙන් හටගත් සංකූලතා මරණයට හේතුව බවට නිගමනය කර ඇති බව සඳහන්.
එසේම මියගිය අයගේ විශ්‍රාම වැටුප දෙවන බිරිඳගේ නමට හරවාගෙන ඇති බවටද මෙහිදී කරුණු හෙළි වී ඇත.
අවසානයේ මරණ පරීක්ෂකවරයාගේ නියෝගය පරිදි මීගොඩ පොලිසියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දේහය සහ මරණ පරීක්ෂණ වාර්තාව පළමු බිරිඳ වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.