මාර්තු 31ට පෙර මේදේ කරන්න..නැත්නම් විශ්‍රාම වැටුප අහෝසියි..රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්..

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna Dec 12, 2022 05:18 AM GMT
Aruna

Aruna

Report

ජීවිත සහතික දත්ත පද්ධතිය ලබන වසරේ මාර්තු 31ට පෙර යාවත්කාලීන නොකරන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවන බවට විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් සියලු ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

විශ්‍රාමිකයන්ගේ ජීවිත සහතිකය තහවුරු කර ගන්නා ආකාරය පිළිබඳව ග්‍රාම නිලධාරිවරුන්ට උපදෙස් දෙමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

විශ්‍රාමිකයන් අස්සන් කළ ආකෘති පත්‍රය ග්‍රාම නිලධාරියා ලබන වසරේ පෙබරවාරි 15 දිනට පෙර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදිය යුතු බවත් එම තොරතුරු මත විශ්‍රාම වැටුප් විෂයභාර නිලධාරීන් දත්ත පද්ධතිය යාවත්කාලීන කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

එතෙක් ජීවිත සහතිකය තහවුරු කිරීමට අස්සන් නොකළ විශ්‍රාමිකයන්ගේ ලේඛනය පෙබරවාරි 20 වන දා නැවත අදාළ ග්‍රාම නිලධාරි වෙත භාරදිය යුතු බව පවසන ජගත් ඩී. ඩයස් මහතා ග්‍රාම නිලධාරීන් අදාළ ලේඛනය සම්පූර්ණ කර මාර්තු 31 දිනට ප්‍රාදේශීය ලේකම් වෙත භාර දිය යුතු බව පවසයි.

ඇඟිලි සලකුණු මඟින් ජීවිත සහතිකය තහවුරු කළ හැකි රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා 476ක නාමලේඛනය හා ප්‍රාදේශීය කාර්යාල 26ක නාම ලේඛනය භාෂාත්‍රයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

පූජ්‍ය පක්ෂයට අදාළව ජීවිත සහතික ලබාගැනීමේදී ග්‍රාම නිලධාරිවරයා භික්ෂුන් වහන්සේ හෝ සිල් මාතාව වැඩවසන විහාරය / ආරාමය / ආරණ්‍ය වෙත ගොස් ජීවිත සහතිකය ලබාගත යුතු බව ද හෙතෙම පවසයි.

ආබාධිත හෝ වයස්ගතභාවය හේතුවෙන් නිවසෙහි හෝ වැඩිහිටි නිවාසවල වෙසෙන විශ්‍රාමිකයන්ගේ හා අනත්දරුවන්ගේ ජීවිත සහතිකය එම නිවසට ගොස් පරීක්ෂා කර තහවුරු කර ගන්නා ලෙසද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

මේ අතර, විශ්‍රාමිකයන්ට 2023 වසර සඳහා ජීවිත සහතික ලබා ගැනීමට අවශ්‍ය වන ආකෘති පත්‍රවලට යන වියදම් කළමනාකරණය කිරීමේ අරමුණින් එම ක්‍රමවේදය වෙනස් කර ඇති බවද වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් පවසයි.

ඒ අනුව, එක් එක් විශ්‍රාමිකයාට වෙනම ආකෘති පත්‍රයක් ලබා දෙනවා වෙනුවට ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් පොදුවේ ආකෘති පත්‍රයක් පමණක් සම්පූර්ණ කිරීමට අවධානය යොමුව ඇතැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now