පාඨලීගෙන් ජනපතිට පිළිතුරු ලිපියක්..!
43 සේනාංකයේ, නායක , පාඨලී චම්පික රණවක මහතා ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. රට මුහුණපා සිටින ආර්ථික හා දේශපාලන අර්බූදයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහා සාමූහික දේශපාලන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව මත පිහිටමින් ජනාධිපතිවරයා විසින් එවන ලද ලිපියට ස්තූතිය පළ කරන බව ද පාඨලී චම්පික රණවක මහතා යවන ලද ලිපියේ සඳහන් ය.
අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතුයැයි තම පක්ෂය ප්‍රකාශයට පත්කළ යෝජනා සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂයන්ගේ සමාන්තර යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වා ඇති ප්‍රතිචාර අපහැදිලි බව ද එම ලිපියේ දැක්වේ.
- උපුටා ගැනීම -
"එහෙයින් මෙවැනි වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම සඳහා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස, ඔබ මුලින්ම ජනතා විශ්වාසය හා ගෞරවය දිනාගත යුතුව ඇත. ඒ සඳහා පළමු කොටම අරගල කරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මර්ධනය වහාම නැවැත්විය යුතුය. එසේම ජනතාවගේ පිළිකුලට පාත්‍ර වී තිබෙන පැරණි දූෂිත රාජ්‍ය යන්ත්‍රණය යළි පිහිටු වීම සඳහා ඔබ විසින් කරගෙන යනු ලබන විවිධ දේශපාලන හා පරිපාලන පත්කිරීම් වහා අවලංගු කළ යුතුය. පොදු ජන පෙරමුණේ දූෂිත දේශපාලඥයන්ටම මූලිකත්වය දෙන පරිදි සකසා තිබෙන වත්මන් අමාත්‍ය මණ්ඩලය අහෝසි කළ යුතුය.
සර්ව පාක්ෂික රජයක නාමයෙන් රාජපක්ෂ ආණ්ඩුවකම දිගුවක් ඇති කිරීමට මෙරට ජනතාව බලාපොරොත්තු වන්නේ නැති බව පැහැදිලිය. ඒ අතර ආර්ථික පොදු අවම වැඩ පිළිවෙලට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ගයට අප අවතීර්ණ වන්නේ නම් එහිදී රටක් වශයෙන් අපට අනුගමකය කිරීමට සිදුවන ආර්ථික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා ලෙස ඔබ අදහස් කරන කරුණු මොනවාද යන්න දළ වශයෙන් හෝ ප්‍රකාශය පත් වී තිබිය යුතුය. එසේම එම ක්‍රියාමාර්ගද යම් හෙයකින් අසාර්ථක වුවහොත් අප කුමන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද යන කරුණ සම්බන්ධයෙන් ඔබගේ ඉදිරි දර්ශනයද පැහැදිලි විය යුතුය.
රාජ්‍ය නායකයා වශයෙන් ඔබ දරන අදහස් ප්‍රකාශ නොකර, අනවශ්‍ය තරම් විවෘතව සාකච්ඡා පැවැත්වීම මේ මොහොතේ කිසිදු සාධනීය ප්‍රතිපලයක් ජනිත නොකරන බව අපගේ හැඟීමය. ඇති කරගත යුත්තේ "සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක්" යන්න සත්‍යයක් වුවද, ඇති කරගත යුතු ආණ්ඩුව සර්වපාක්ෂික වැඩපිළිවෙළක් වශයෙන් නොව, සර්වපාක්ෂික ආණ්ඩුවක්ය යන්න පැහැදිලි වන පරිදි යෝජනා කෙරෙන සාමූහික ආණ්ඩුවේ, "ආණ්ඩුව" පිළිබඳ කෙරෙන හැඳින්වීම වඩා නිශ්චිතව සඳහන් විය යුතුය. ඔබ තුමන් විසින් එවන ලද ලිපියට නිසි ගරුත්වය සහිතව, ඵලදායී සාකච්ඡාවකට එක්වීමට අපට හැකියාව ලැබෙන්නේ ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ඔබ දක්වන කැපවීම මත බව සඳහන් කරනු කැමැත්තෙමු."
- උපුටා ගැනීම අවසන් -
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |