චමින්ද කුලරත්න පිළිබද ගත් තීන්දුව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වලට අනුකූලයි ඇමති නලින්දගෙන් සැර ප්‍රකාශයක්
වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ නියමිත ක්‍රියාවලියකට අනුව සිදුව තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ .
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් කතාබහක් මතු විය.
චමින්ද කුලරත්න මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සංවාදය මෙලෙසයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:
'' මේ සභාව පවත්වාගෙන යන්නට ලේකම් මණ්ඩලය ලොකු පිටුවහලක් වෙනවා. ඉතිහාසයේ කවදාවත් ලේකම් මණ්ඩලය සහ කතානායක අතර ගැටුමක් ඇති වෙලා නැහැ. අපි කතානායකවරුන් දහ දෙනෙක් එක්ක විතර වැඩ කරලා තියෙනවා. කීර්තිමත් කතානායකවරුන් මෙතන ඉඳලා තියෙනවා. ලේකම් මණ්ඩලය සමග හොඳට වැඩ කරගෙන ගියා. අද ලේකම්වරයෙක් අස් කරල තියෙනවා. ඒ ලේකම්වරයා කතානායකට එරෙහිව අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් ගොනු කරලා . ඉතිහාසයේ කවදාවත් මේ වගේ තත්වයක් සිද්ධ වෙලා නෑ. මේක බොහොම නරක තත්වයක්. මේකද ඔබතුමාලගේ සිස්ටම් චේන්ජ් එක. කොහොමද මේ පාර්ලිමේන්තු ක්‍රමය ගෙනියන්නේ. ඔබතුමා තමයි කාර්ය මණ්ඩල උපදේශක සභාවට පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබතුමාම තමයි ඒ පරීක්ෂණ පවත්වන ප්‍රධානියා පත් කළේ. මෙතන වෙන්නේ මොකක්ද කතානායකතුමනි. ඉතාම භයානක තත්වයක්. පාර්ලිමේන්තුවේ තිබුණ ගෞරවය නැති කරගෙන යනවා. නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ඒ ලේකම්වරයාට අවස්ථාව දීල නැහැ. පාර්ලිමේන්තුවේ පැවැත්මට මේක ලොකු ප්‍රශ්නයක්. කතානායකතුමාගේ තීන්දුව ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉවසීමෙන් කටයුතු කරනවා. ඔබතුමා විපක්ෂයට අවස්ථාව දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු ක්‍රමය විනාශ කරන්න එපා. මහලේකම්තුමියටත් මොකක්ද විභාගයක් ගේන්න යනවා කියලා ආරංචියි. සිද්ධිය ගැන ස්වාධීන කමිටුවක් පත් කරලා පාර්ලිමේන්තු ක්‍රමය හරියට ගෙනියන්න.''
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ මෙවන් අදහසක්
'' පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කතානායකවරයාට වගේම ලේකම් මණ්ඩලයටත් වගකීමක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ආවම කටයුතු කරන්න තියෙන ආයතනය තමයි කාර්ය මණ්ඩල උපදේශක සභාව. විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඒ උපදේශක සභාව නියෝජනය කරනවා. ඒ කමිටුව තමයි මේ තීන්දුව ගත්තේ. ''