පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැයේ දෙවනවර කියවීමේ තීරණාත්මක ඡන්දය අද සවස
අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය ආරම්භ වී ඇත.
ජාතික ජන බලවේග රජයේ තෙවැනි අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව අයවැයේ දෙවනවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ අතර, අද දිනය දක්වා දින හතක් පුරා එම විවාදය පැවැත්වේ.
ඒ අනුව 2027 අයවැයේ දෙවනවර කියවීමට අදාළ තීරණාත්මක ඡන්ද විමසීම අද (20) පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
මේ අතර, අයවැයේ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එම විවාදය අවසන් වීමෙන් අනතුරුව 2027 අයවැය සම්බන්ධ අවසන් ඡන්ද විමසීම වන තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවල ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.