හයිටි පොලිසියෙන් කල්ලිවලට දරුණු ප්‍රහාරයක්- හදිසි මෙහෙයුමකින් කල්ලි සාමාජිකයින් 34ක් මරුට
හයිටි අගනුවර වන පෝර්ට්-ඕ-ප්‍රින්ස් හි මාර්ටිසන්ට් ප්‍රදේශයේ සිදුකළ පොලිස් මෙහෙයුමකදී සැකකාර කල්ලි සාමාජිකයින් අවම වශයෙන් 34 දෙනෙකු මියගොස් ඇති බව හයිටි ජාතික පොලිසිය පවසයි.
වසර පහකට අධික කාලයක් සන්නද්ධ කල්ලිවල පාලනයට නතුව පවතින මෙම ප්‍රදේශයේදී මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. හයිටි ජාතික පොලිසිය සඳහන් කළේ, පසුගිය බ්‍රහස්පතින්දා සිදුකළ මෙම මෙහෙයුම සඳහා සිය නිලධාරීන් සමඟ කල්ලි විරෝධී විශේෂ කාර්ය සාධක බලකායක් ද එක්වූ බවයි.
එම බලකායට බ්ලැක්වෝටර් සමාගමේ නිර්මාතෘ එරික් ප්‍රින්ස් විසින් ආරම්භ කරන ලද පෞද්ගලික ආරක්ෂක සමාගමක් වන වෙක්ටස් ග්ලෝබල් (VECTUS Global) හි නිලධාරීන් ද ඇතුළත් වී ඇත.
මෙහෙයුම අතරතුර සන්නද්ධ රථ ප්‍රදේශය හරහා ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ. මෙහෙයුමෙන් සිදුවූ වෙනත් හානි පිළිබඳව පොලිසිය වාර්තා කර නොමැති අතර, හයිටියේ රැඳී සිටින සැල්වදෝර් හමුදා සාමාජිකයින් 2,500 දෙනාගෙන් කිසිවෙකු මෙයට සහභාගී වී නොමැති බව ද සඳහන් කර ඇත.
මාර්ටිසන්ට් ප්‍රදේශය පෝර්ට්-ඕ-ප්‍රින්ස් අගනුවර හයිටියේ බටහිර සහ දකුණු ප්‍රදේශ සමඟ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබේ. 2021 වසරේදී ප්‍රතිවාදී සන්නද්ධ කල්ලි අතර එම ප්‍රදේශයේ පාලනය අත්පත් කර ගැනීම සඳහා ගැටුම් ආරම්භ වීමට පෙර දිනකට දහස් ගණනක ජනතාවක් මෙම මාර්ගය භාවිත කර තිබිණි.
එම ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 19,000කට සිය නිවාස අතහැර පලා යාමට සිදුවූ බව 2022 ජූලි මාසයේ නිකුත් කළ එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වේ. පසුව සන්නද්ධ කල්ලි විසින් එම මාර්ගය භාවිත කරන පුද්ගලයින්ගෙන් මුදල් අයකිරීම ආරම්භ කර ඇති අතර, ප්‍රදේශය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාහනවලට වෙඩි තැබීමේ සිදුවීම් ද වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් අගනුවරට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ නගරයෙන් පිටතට ගමන් කිරීම දැඩි ලෙස අඩාල වී ඇත. මේ අතර, එක්සත් ජාතීන්ගේ සහාය ලබන කල්ලි මර්දන බහුජාතික බලකාය ටබාරේ ප්‍රදේශයේ සිය මෙහෙයුම් තීව්ර කිරීමට පියවර ගෙන තිබේ.
මාස කිහිපයක් පුරා රාත්‍රී මුර සංචාර සිදුකරමින් සහ කල්ලි කඳවුරු හඳුනාගැනීමේ කටයුතුවල නිරත වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම බලකාය සඳහන් කරයි. "අපගේ අරමුණ පැහැදිලියි.
කල්ලි පලවා හැරීම පමණක් නොව, ප්‍රජාවන් කෙරෙහි ඔවුන් පවත්වාගෙන යන බලපෑම බිඳ දැමීම, ප්‍රදේශ යළි අත්පත් කර ගැනීම සහ ඔවුන් නැවත පැමිණීම වැළැක්වීමයි" යනුවෙන් එම බලකාය සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.
තවද, මධ්‍යම ආටිබොනයිට් කලාපයේ ග්‍රෝස්-මෝර්න් නගරයට උතුරින් පිහිටි ජාතික මහාමාර්ග අංක 5 ඔස්සේ කල්ලි සාමාජිකයින් විසින් ඉදිකර තිබූ මාර්ග බාධක ඉවත් කිරීම සහ හාරා තිබූ අගල් පිරවීමේ මෙහෙයුම් අතරතුර තම හමුදා සාමාජිකයින්ට වෙඩි ප්‍රහාර එල්ල වූ බව ද එම බලකාය වැඩිදුරටත් සඳහන් කර තිබේ.