නාවික හමුදාවෙන් විශ්‍රාම යන අයට ඇහෙන සුබ ආරංචිය මෙන්න
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා සාමාජිකයින් හට නාවික හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර රැකියා අවස්ථා පුළුල් කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත .
මෙම හමුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සමසභාපතිත්වයෙන් යුතුව පවත්වා ඇති බව වාර්තා වේ.
මෙහිදී විශ්‍රාම යන නාවික සාමාජිකයින් සඳහා ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම පහසු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මීට පෙර පවත්වන ලද සාකච්ඡාවල ප්‍රගතිය අවධානයට ලක් වී ඇති බවයි.
මෙහිදී ගෝලීය සමුද්‍රීය කර්මාන්තයට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සහතික කිරීමේ අවශ්‍යතාවල පවතින අඩුපාඩු මඟහරවා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරුන් සමාලෝචනය කර ඇත .
ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තරව පිළිගත් නිපුණතා සහතික ලබා ගැනීමට විශ්‍රාම යන සාමාජිකයින්ට හැකි වන පරිදි තිරසාර රාමුවක් සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී අවධාරණය කළ බව සඳහන්ය.
ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ සමුද්‍රීය නියාමන අධිකාරීන් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය වඩාත් විධිමත් කිරීම සඳහා ගත යුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ