විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වැටලීම් 1,000ක් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක්
වෙළෙඳපොළේ නීතිමය අනුකූලතාව, භාණ්ඩවල ආරක්ෂාව සහ සැපයුම් මූලාශ්‍ර තහවුරු කිරීමේ අරමුණින් මෙරට විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳසල් සම්බන්ධයෙන් මේ වසර තුළ වැටලීම් 1,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගිකයින්ට ආරක්ෂිත ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ වෙළෙඳපොළක් තහවුරු කිරීම සඳහා ඉකුත් අගෝස්තු 25 වනදා ආරම්භ කරන ලද විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පමණක් වෙළෙඳ ආයතන 204ක් පරීක්ෂාවට ලක්කර ප්‍රමිතියෙන් තොර භාණ්ඩ 1,150කට අධික ප්‍රමාණයක් නඩු භාණ්ඩ ලෙස නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම වැටලීම්වලදී නිසි බිල්පත් හා ඉන්වොයිස් පවත්වාගෙන නොයෑම, භාණ්ඩවල සැපයුම් මූලාශ්‍රය තහවුරු කිරීමට නොහැකි වීම, නියමිත ප්‍රමිතියට අනුකූල නොවන ප්ලග්, බහු සොකට් , දිගු විදුලි රැහැන් , LED බල්බ, චාජර්, විදුලි කේතල් සහ ඉස්ත්රික්ක ඇතුළු භාණ්ඩ රැසක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා අවම වශයෙන් මාස 06ක ලිඛිත වගකීම් සහතිකයක් ලබාදීම කෙරෙහි ද මෙහිදී දැඩි අවධානය යොමුකර තිබේ.
වාචිකව ලබාදෙන වගකීම් ප්‍රමාණවත් නොවන බැවින්, කාලසීමාව සහ කොන්දේසි සහිත ලිඛිත වගකීම් සහතිකයක් ලබා ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බව අධිකාරිය පෙන්වා දෙයි.
විමර්ශන අවසන් වූ පසු අදාළ වරදට සම්බන්ධ වෙළෙන්දන්ට පමණක් නොව සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ආනයනකරුවන් සහ නිෂ්පාදකයින්ට ද එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.