කැරම්- දාම් බෝඩ් නඩුවෙන් විත්තිකරුවෙක් නිදහස්
2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේදී, හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම නඩුවේ තෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතාව නඩුවෙන් නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.
ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 194 වන වගන්තිය යටතේ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවය. මෙම වගන්තිය මඟින් නීතිපතිවරයාට හිමිවන විශේෂ බලය වන්නේ, නඩුවක ඕනෑම අවස්ථාවක යම් විත්තිකරුවෙකුට එරෙහිව ඇති චෝදනා පවත්වාගෙන නොයෑමට (Nolle Prosequi) තීරණය කිරීමයි.
ඒ අනුව අදාළ විත්තිකරු නඩුවෙන් මුදා හැරීමට අධිකරණය කටයුතු කළද, සෙසු විත්තිකරුවන්ට එරෙහිව නඩු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිත බව සඳහන් වේ.