නව කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවටත් රතු එළියක්...රටත් වහන්න වෙයි.?
දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හමු වූ ඔමික්‍රොන් නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ජාන විශ්ලේෂණ තවදුරටත් වේගවත් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය ප්‍රකාශ කළා.
එමෙන්ම ලොව රටවල් රැසකින්ම නව වෛරසය ආසාදනය වූවන් හමු වී තිබෙනවා.
දකුණු අප්‍රිකාවෙන් මුල් වරට සොයාගැනුනු විකෘතිතා විශාල සංඛ්‍යාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල නව කොරෝනා ප්‍රභේදය, ලොව රටවල් කිහිපයකින්ම දැන් හමුවී ඇති බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ඉතාලියෙන් මෙලෙස ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, වෛරසය මැඩපැවැත්වීම සඳහා නව පියවර රැසක් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ කඩසාප්පු සහ පොදු ප්‍රවාහන සේවාවන්හි මුව ආවරණ පැළඳීම නැවතත් අනිවාර්ය කෙරෙනවා.
එක්සත් රාජධානියට ඇතුළුවන සියල්ලන් කොරෝනා පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගැනෙන අතර, පූර්ණ එන්නත්කරණය ලබා සිටිය ද සමීප ආශ්‍රිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක් කිරීමට නියමිතයි.
කෙසේ නමුත් මෙය, තාවකාලික සහ පූර්ව පෙර සූදානම් පියවරක් ලෙස හැඳින්වූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කළේ මෙවර නත්තල පසුගිය වසරට වඩා ජනතාවට හොඳින් සැමරිය හැකිවනු ඇති බවයි.
බ්‍රිතාන්‍යයෙන් ඔමික්‍රොන් ආසාදිතයන් 2 කු හඳුනා ගැනුණු අතර, ජර්මනියෙන් ආසාදිතයන් දෙදෙනෙකු මෙන්ම බෙල්ජියමෙන් සහ ඉතාලියෙන් එක් ආසාදිතයෙකු බැගින් හඳුනා ගැනුනා.
චෙක් ජනරජයෙන්ද සැකකටයුතු ඔමික්‍රොන් ආසාදිතයෙකු හමු වී ඇති බව වාර්තා වුණා. බොට්ස්වානා සහ හොංකොං රාජ්‍යයන්ගෙන් ද නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන් හමු වූ අතර, ඔමික්‍රොන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග ඊශ්‍රායලය තම රටට සියලු විදේශිකයන් පැමිණීම දින 14කට අත්හිටුවීම පිළිබඳව අවධානය යොමුකර ඇති බව සඳහන්.
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානම පිළිබඳව අප විමසීමක් කළා. කෙසේ නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේ මෙරට තවමත් පවතින්නේ ඩෙල්ටා ප්‍රභේදය පමණක් බවයි.
එසේම, නව ප්‍රභේද ඕනෑම මොහොතක මෙරටට පැමිණීමේ අවදානම පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ හේතුවෙන් ජාන විශ්ලේෂණ කටයුතු තවදුරටත් වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ දී ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියා.
එසේම, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග වෛද්‍ය , විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ මේ වනවිටත් අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ඇති බවයි.
මේ අතර, ඊයේ (28) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 719 වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 561,778ක් දක්වා ඉහළ ගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
