ප්‍රදේශයක්ම භීතියට පත් කරමින් සිටින, චන්ඩි සොයා පොලිසිය අම්පිටිය පීරයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Dec 02, 2022 12:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලැබු සිසුවෙකුට භූමිතෙල් දමා ගිනි තැබීම සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අම්පිටිය ප්‍රදේශයේ ජනතාවද දැනුවත් කර තිබෙනවා.

සිද්ධියට අදාළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපක් කළේය. පොලීසිය පවසන්නේ, සැකකරු මීට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බවය. අම්පිටිය ප්‍රදේශය කලක් තිස්සේ භීතියට පත්කරමින් සිටින පිරිසක් හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වී සිටින බව ප්‍රදේශවාසීන් ද පවසයි.

මහනුවර අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූ පාසල් සිසුවෙක් A සාමාර්ථ නවයක් සමගින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබුණි. පසුගිය 26 වනදා රාත්‍රියේ පියා ද සමග ඔහු මිත්තණියගේ නිවසට ගොස් තිබුණේ තමන් ලද ඒ විශිෂ්ට ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇයට දැනුම්දීමටය. ඔවුන් නැවත නිවස බලා පැමිණෙන අතරවාරයේ අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු ඉදිරියට පැමිණ සිසුවාගේ ශරීරයට භූමිතෙල් ඉස ගිනි තබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වාර්තා වී ඇති අලුත්ම තොරතුර වන්නේ, එම පුද්ගලයා සිසුවාගේ පියාගෙන් කප්පම් මුදල් ඉල්ලා එය නොදීම නිසා උරණ වී මෙලෙස ගිනි තැබූ බවය. අත් දෙකට සහ බෙල්ලට සිදුවූ බරපතළ පිලිස්සුම් හේතුවෙන් සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු සැත්කමකටද භාජනය කර තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින් සැරිසරන මෙම මැර කල්ලි සාමාජිකයින් පසුගිය කාලය පුරාම ප්‍රදේශවාසීන් භීතියට පත්කරමින් මෙවැනි අමානුෂික ක්‍රියාවල නිරතවෙමින් සිටින බවය. හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන මොවුන් කලක පටන් අම්පිටියේ ජනතාව බියගන්වා කප්පම් මුදල් ලබාගන්නා අතර ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now